• Ada Derana 24
  • Ada Derana BIZ Sinhala
  • LPL
  • partners
  • sri lanka

LPL 2022 නිල විකාශන අයිතිය අද දෙරණ 24 නාලිකාවට

November, 20, 2022

ලංකා ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල රූපවාහිනී විකාශන සහකරු ලෙස අද දෙරණ 24 නාලිකාව තරග සංවිධායක IPG Sports සමූහය සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම තරගාවලිය, 2022 වසරේ දෙසැම්බර් මස 6 වන දින ආරම්භ වීමට නියමිතය.

අද දෙරණ 24 යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ පැය 24 පුරා ක්‍රියාත්මක වන එකම පුවත් රූපවාහිනී නාලිකාවයි. මේ අනුව අද දෙරණ 24 ඔස්සේ උද්වේගකර තරගකාරිත්වයෙන් පිරි තරග 23ක සජීවී ආවරණය ශ්‍රී ලාංකීය ජනතාවට දැකබල ගැනීමට අවස්ථාව උදාවනු ඇත..

එවින් ලුවිස්,කාලොස් බ්‍රත්වෙයිට්, ජැනමන් මේලන්, ඩ්වීන් ප්‍රිටොරියස්, ඩාර්සි ශෝර්ට්, ෂොයිබ් මලික් ඇතුළු විදේශීය ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුලත් කණ්ඩායම් 5කින් සැදුම්ලත්  2022 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ඉතා තරගකාරී තරග රටාවක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ද මෙම තරඟාවලියට සහභාගී වීමට නියමිත අතර ඔවුන් පළාත් කණ්ඩායම් නියෝජනය කරනු ඇත.

නිල විකාශනය පිළිබඳ හවුල්කාරිත්වය සංකේතවත් කිරීමක් පසුගියදා කොළඹදී පැවැත්වුණු අතර, IPG Sports සහ දෙරණ මාධ්‍ය ජාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ. උත්සව සභාව අමතමින් IPG Sports හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මෝහන් මහතා ප්‍රකාශ කළේ "ශ්‍රී ලාංකිකයන් විසින් ආදරය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුවත් නාලිකාව වන අද දෙරණ 24 සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙනවා" යනුවෙනි. LPL හරහා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම මෙන්ම අර්බුදකාරී වතාවරණය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මනෝභාවය ඉහළ නැංවීමට ද මෙම තරගාවලිය උපකාරී වන බව IPG විශ්වාස කරයි.

"ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ පුරෝගාමීම මාධ්‍ය ආයතනය ලෙස, අද දෙරණ -24 සෑමවිටම ජනතාවගේ හදවත්වලට සමීප වන්නේ අප අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා නිතැතින් සපුරන නිසා යැයි දෙරණ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය. එසේම මෙම තරගාවලිය මෙම කාල වකවානුවේ විවිධ ගැටලුකාරී තත්වයන්  අත්විඳින ජනතාවට සහනයක් මෙන්ම විනෝදාස්වාදයක් ලබා දෙනු ඇති අතරම, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මෙය විදෙස් ක්‍රිකට් තරු වඩාත් සමීප කරවන උද්වේගකර තරගාවලියක් වනු ඇතැයි  මා විශ්වාස කරනවා."

ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා ද මෙහිදී  අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, "ලංකා ප්‍රිමියර් ලීගය  සිය නිල විකාශන සහකරු ලෙස අද දෙරණ 24 සමඟ එක්වීම පිළිබඳව සංවිධායකයකු වශයෙන්  අතිශයින් සතුටට පත්වෙනවා" යනුවෙනි.

  • Ada Derana BIZ Sinhala
  • IPG Group
  • LPL
  • sri lanaka

2022 LPL තරගාවලිය දෙසැම්බර් මාසයේදී

August, 4, 2022

ආර්ථිකය හා සංචාරක කර්මාන්තය නංවාලීමට අත්වැලක් වීමේ උත්සාහයක්

2022 අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙවර LPL තරගාවලිය, 2022 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට එහි සංවිධායකවරුන් තීරණය කර තිබේ. තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම තරගාවලිය මගින් ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගැනීමට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ, තරගාවලියේ හිමිකම් දරන IPG Group සමාගම කටයුතු කර ඇත.

IPG Sports සමාගම මගින් සංවිධානය කරනු ලබන LPL තරගාවලිය ශ්‍රී ලංකාවේ වෘත්තීය මට්ටමේ වාර්ෂික විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියකි. 2022 LPL තරගාවලිය ඔස්සේ රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත්, ශ්‍රී ලාංකිකයන් තුළ සතුට හා සුභවාදී හැඟීම් ඇතිකරවීමටත් IPG Groups සමාගම බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් IPG Group සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මොහාන් මහතා පැවසුවේ, මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රසිද්ධිය සහ, එමගින් රටේ ආර්ථිකයට ලැබෙන යහපත් දායකත්වය තවදුරටත් වැඩිකිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. “මුලින් සැලසුම් කළ පරිදි තරගාවලිය පැවැත්වීමෙන් එම ඉලක්ක ළඟා කරගැනීමට අපහසු විය හැකි බව අපට පෙනී ගියා. දෙසැම්බර් මාසය වනවිට රටේ තත්ත්වය තවදුරටත් ස්ථාවර වේවි කියා අප සිතනවා. එවිට විදෙස් ක්‍රීඩකයන්ට තම පවුල් වල අයත් සමග මෙරටට පැමිණීමට  හැකිවේවි. එමෙන්ම විදෙස් ක්‍රීඩා ලෝලීන්ටත් කිසිදු ගැටලුවකින් තොරව තරග නැරඹීමට පැමිණීමට හැකියාව ලැබේවි. මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම, කාර්ය සම්පාදනය අතින් ගත්විට විශාල අභියෝගයක්. ප්‍රේක්ෂකයන්ට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට මෙය සංවිධානය කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. ඒ නිසා දැනට පවතින හොඳම විසඳුම වන්නේ, තරගාවලිය දෙසැම්බර් මාසය තෙක් කල්දැමීමයි. එමෙන්ම වර්තමානයේ රට තුළ පවතින අභියෝග සැලකිල්ලට ගත් විට, ඇතැම් අයට තරගාවලියේ සතුට නිසි පරිදි අත්විඳීමට නොහැකි වීමට ඉඩ ඇති බව අප දන්නවා. මේ සියල්ල නිසා, දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන්ට උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයට, දෙසැම්බර් මසයේදී මෙම තරගාවලිය පැවැත්වීමට අප තීරණය කළා.” අනිල් මොහාන් මහතා වැඩිදුරටත් පැවසී ය.

තරගාවලිය 2022 අගෝස්තු මස 01 දින සිට 2022 අගෝස්තු 21 දින දක්වා පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ අතර, එහි කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ කටයුතු 2022 ජූලි 05 දින අවසන් විය. වනිඳු හසරංග, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ද, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, අසිෆ් අලි, ඩ්වේන් ප්‍රිටෝරියස්, එවින් ලුවිස්, සහ ඩෙවෝල්ඩ් බ්‍රෙවිස් වැනි විදේශීය ක්‍රීඩකයන්ද ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් තරු රැසක් මෙම තරගාවලියට එක්වී සිටිති.

“අපට පාලනය කළ නොහැකි සාධක නිසා තරගාවලිය කල්තැබීමට සිදු වුවත්, වඩාත් යහපත් තත්ත්වයන් යටතේ දෙසැම්බර් මාසයේදී මෙය වඩාත් සාර්ථක ලෙස පැවැත්වීමට අපට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා. මෙමගින් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ට වඩාත් හොඳින් දක්ෂතා දැක්වීමටත්, ප්‍රේක්ෂකයන්ට තරගාවලියේ උණුසුම උපරිමයෙන් විඳගැනීමටත් අවස්ථාව ලැබේවි.” LPL 2022 තරගාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසී ය.

තරගාවලිය පැවැත්වෙන නව දිනයන් සහ එහි සජීවී විකාශනයන් පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ඇත. පවතින තත්ත්වය අවබෝධ කරගෙන කාරුණිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් IPG Group සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරගාවලියේ අනුග්‍රාහකයන් ඇතුළු සියලුම පාර්ශ්වයන්ට සිය ස්තූතිය පළකර සිටී.