December, 14, 2022
Microsoft සහ LinkedIn එක්ව ක්රියාත්මක කරන Skills for Jobs වැඩසටහනේ මීළඟ අදියර ආරම්භ කිරීමට දෙපාර්ශ්වය මේ වනවිට සැලසුම් කර ඇත. මේ යටතේ නොමිලේ පාඨමාලා 350 ක්, නව Career Essentials සහතික 6 ක් සහ LinkedIn Learning ශිෂ්යත්ව 50,000 ක් පිරිනැමෙන අතර, 2025 වසර වන විට, ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සඳහා මිලියන 10 කට අධික පිරිසක් පුහුණු කිරීම සහ ඔවුන් සහතිකකරණය කිරීම Microsoft හි අපේක්ෂාව වී තිබේ. මෙය මීට පෙර ලොව පුරා මිලියන 80 කට අධික පිරිසකට තම ඩිජිටල් කුසලතා වැඩිදියුණු කරගැනීමට උපකාරී වූ Global Skills වැඩසටහනේ ඉදිරි පියවරකි.
මේ දක්වා LinkedIn, Microsoft Learn සහ ලාභ නොලබන පුහුණු වැඩසටහන් හරහා පුහුණුව ලබා දී ඇති පිරිස මිලියන 14 ඉක්මවන අතර, මේ අතරින් 101,000 කට අධික පිරිසක් ශ්රී ලාංකිකයන් ය. ශ්රී ලංකාවේ ප්රධානතම LinkedIn Learning Pathways ලෙස හඳුනාගෙන ඇත්තේ Project Manager, Digital Marketing Specialist, Software Developer, Critical Soft Skills, Financial Analyst සහ Graphic Designer යන රැකියා අංශ හයයි.
වැඩසටහනට අදාළව, වැඩිම ඉල්ලුමක් ඇති රැකියා අංශ හය (Administrative Professional, Project Manager, Business Analyst, Systems Administrator, Software Developer හෝ Data Analyst) තෝරාගැනීම සඳහා, LinkedIn සහ Burning Glass Institute වෙතින් දත්ත ලබාගෙන රැකියා ඇබෑර්තු විශ්ලේෂණයට ලක්කිරීමට Microsoft කටයුතු කළේ ය. ඉංග්රීසි, ප්රංශ, ජර්මානු, ස්පාඤ්ඤ, පෘතුගීසි, සරල චීන සහ ජපන් යන භාෂා හයෙන් මෙම පාඨමාලා හැදෑරිය හැකි වේ. මෙය ඩිජිටල් ආර්ථිකයක් තුළ සාර්ථක වීම සඳහා අවශ්ය දැනුම, තාක්ෂණය හා අවස්ථාවන් ලොව පුරා ජනතාවට ලබාදීම සඳහා Microsoft දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි.
“ශ්රී ලංකාව තුළ කාටත් පොදු ආර්ථික හා සමාජයීය ප්රගතියක් අත්කර ගැනීම සඳහා, වර්තමාන ඩිජිටල් ආර්ථිකය තුළ කුසලතා පරතරය පියවීම අත්යවශ්යයි. ලොව පුරා මිලියන 10 ක පිරිසකට වර්තමානයේ වැදගත් වන දැනුම හා පුහුණුව ලබාදීමට අප දරන මේ උත්සාහය ඔස්සේ, අඛණ්ඩව සියලුම දෙනාට තාක්ෂණික කුසලතා වැඩිදියුණු කිරීමේ අවස්ථාවන් සලසා දෙමින්, ඔවුන්ට නවෝත්පාදන වැළඳ ගනිමින් දියුණුව කරා යා හැකි රැකියා අවස්ථා විවෘත කර දීම අපගේ අරමුණයි. මේ ආකාරයට ශ්රී ලංකාවේ සියලුම දෙනාට, ක්රමයෙන් පුළුල් වන ඩිජිටල් ලෝකය තුළ වැඩි වැඩියෙන් සාර්ථක වීම සඳහා අත්වැලක් වීමට LinkedIn සහ අනෙකුත් හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම අපට මහත් සතුටක්.” Microsoft සමාගමේ ශ්රී ලංකා සහ මාලදිවයින් ප්රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා පැවසී ය.
නව Career Essentials සහතිකකරණ වැඩසටහන සැලසුම් කර ඇත්තේ, රැකියා අවස්ථා උදාකර ගැනීම පහසු වන ආකාරයට, මූලික ඩිජිටල් සාක්ෂරතා මට්ටමේ සිට වඩාත් දියුණු තාක්ෂණික හැකියාවක් දක්වා තම කුසලතා වැඩිදියුණු කරගනිමින් ඒ සඳහා නිසි සහතිකකරණ හිමිකර ගැනීමට වෘත්තිකයන්ට අවස්ථාව ලැබෙන පරිද්දෙනි. එක් Learning Pathway ධාරාවක් සාර්ථක ලෙස සම්පූර්ණ කළ පසුව, එය තහවුරු කිරීම සහ අදාළ පුද්ගලයාගේ කුසලතා මට්ටම දැක්වීම සඳහා ඔහුට හෝ ඇයට LinkedIn සහතිකයක් හිමි වේ.
මෙම වැඩසටහන යටතේ හැදෑරිය හැකි පාඨමාලා පිළිබඳ සියලු තොරතුරු opportunity.linkedin.com වෙබ් අඩවියේ දක්වා ඇත. මීට අමතරව Microsoft මගින් නිර්මාණය කරන ලද වෙනත් පාඨමාලා Microsoft Community Training (MCT) හි දක්වා ඇති අතර, ලාභ නොලබන හවුල්කරුවන්ට වෙනත් ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) සමග භාවිතා කිරීම සඳහා බාගත කළ හැකි ආකාරයට ඒවා සකස් කර තිබේ.
September, 9, 2022
සයිබර් අවකාශයේ තර්ජන සම්බන්ධ දත්ත සහ පර්යේෂණ පදනම් කරගනිමින් Microsoft සමාගම කාර්තුවකට වරක් ප්රකාශයට පත්කරනු ලබන Cyber Signals වාර්තාවේ දෙවැනි සංස්කරණය පසුගියදා එළිදක්වන ලදි. Ransomware-as-a-Service (RaaS) ලෙස හඳුන්වනු ලබන වංචනික ව්යාපාර ආකෘතියේ පරිණාමය සම්බන්ධයෙන් මෙහිදී මූලික වශයෙන් අවධානය යොමුකර තිබේ. RaaS හි වර්ධනය මෙන්ම, තාක්ෂණික හැකියාවක් නොමැති අපරාධකරුවන්ට ද ඉතා පහසුවෙන් Ransomware වර්ගයේ හානිකර පරිගණක වැඩසටහන් භාවිතා කිරීමට හැකියාව ලැබී තිබීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඇතැම් සයිබර් අපරාධකරුවෝ මේ වනවිට තමන්ම අපරාධ ක්රියා සිදු කරනු වෙනුවට, තමන් නිර්මාණය කළ හානිකර පරිගණක වැඩසටහන් වෙනත් පාර්ශ්ව වෙත කුලියට දීම හෝ අලෙවි කිරීම සිදුකරන අතර, අදාළ අපරාධ වලින් ලැබෙන ලාභයෙන් කොටස් ඒ සඳහා ගෙවීම් ලෙස ලබාගනිති. සයිබර් අපරාධකරුවන් කිහිප දෙනෙකු එක්වී, අදියර කිහිපයක් යටතේ සාමාන්යයෙන් මෙම ආක්රමණ සිදු කෙරේ. RaaS ක්රියාවලියට සාමාන්යයෙන් අදාළ ආක්රමණවලට අවශ්ය පහසුකම් සපයන ප්රධාන මෙහෙයුම්කරුවෙක් සහ, ආක්රමණය සැබැවින්ම දියත් කරන අපරාධකරුවන් පිරිසක් ඇතුළත් වෙති.
මේ වනවිට මාර්ගගත තර්ජන සංඛ්යාත්මකව මෙන්ම සංකීර්ණත්වය අතින්ද ඉහළ යමින් පවතී. සයිබර් ආරක්ෂාව පිළිබඳ යුරෝපා සංගම් නියෝජිතායතනය මෑතකදී වාර්තා කළේ, 2021 මැයි සිට 2022 ජූනි දක්වා කාලසීමාව තුළ සෑම මාසයකදීම ටෙරාබයිට් 10 ක පමණ දත්ත ප්රමාණයක් සොරාගෙන ඇති බවයි. මේ අතරින් 58.2% ක්ම සමාගම්වල සේවක සේවිකාවන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගැනීම් වේ.
තවද Cyber Signals හි මෙම සංස්කරණයේදී RaaS පිළිබඳව දක්වන කරුණු මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, Ransomware වලින් 80% කට වඩා වැඩි ප්රමාණයක් මෘදුකාංග සහ උපාංගවල පොදු වින්යාස දෝෂ වලින් ප්රයෝජන ලබන බවයි. Ransomware ව්යාපාරය ක්රමයෙන් වර්ධනය වීම හමුවේ අපරාධකරුවන් තවතවත් එවැනි අපරාධ සිදුකිරීමට පෙළඹෙමින් සිටින පසුබිමක් තුළ, මෙමගින් ගෙවීම් යටිතල පහසුකම් වලට අමතරව Ransomware Payloads සහ අනවසරයෙන් දත්ත ලබාගැනීම සඳහා ප්රවේශය මිලදී ගැනීමට හැකියාව ලැබී ඇත. කප්පම් ගැනීම පිටුපස සිටින ආක්රමණිකයන්ට සිය අනන්යතාව සැඟවීම පහසු වීම මෙන්ම, RaaS පද්ධති Dark Web අවකාශය තුළ පහසුවෙන් සොයාගත හැකි වීම නිසා, ඕනෑම කෙනෙකුට RaaS වංචනික ක්රියාවන්ට සම්බන්ධ වීමට හැකි වී තිබේ. මේ නිසා ආක්රමණයට ලක්වන්නාට, එම ආක්රමණය සිදුකළ අපරාධකරුවන් හඳුනා ගැනීම අපහසු වී ඇත.
RaaS මගින් සයිබර් අපරාධකරුවන්ට කිසියම් ආයතනයක දත්ත සොරා ගැනීමට සහ එම දත්ත මුදාහරින බවට තර්ජනය කරමින් මුදල් ලබා ගැනීමට හැකි වීම නිසා, මෙය ලොව පුරා ව්යාපාර හා අනෙකුත් සංවිධාන වලට බරපතළ අභියෝගයක් වී තිබේ. කෙසේ නමුත් Microsoft සමාගම විසින් මේ ආකාරයට අපරාධ සහ අපරාධකරුවන් පිළිබඳ නවතම බුද්ධි තොරතුරු එක්රැස් කිරීම නිසා, ලොව පුරා ව්යාපාර හා සංවිධාන වලට ඒ පිළිබඳව නිසි පරිදි දැනුවත් වී අවශ්ය පියවර ගැනීමට හැකියාව ලැබී ඇත.
Microsoft සමාගමේ ඩිජිටල් අපරාධ මැඩලීමේ ඒකකය 2021 ජූලි මාසයේ සිට 2022 ජූනි මාසය දක්වා Phishing වර්ගයේ වෙබ් ලිපින 531,000 ක් සහ Phish kits 5,400 ක් ඉවත් කිරීමට සමත් විය. එමෙන්ම සොරාගන්නා ලද පාරිභෝගික තොරතුරු එක්රැස් කිරීම සඳහා භාවිතා කරන ලද වංචාකාරී ඊමේල් ගිණුම් 1,400 ක් අවලංගු කරන ලදි.
දැනට පවතින බොහෝ RaaS වැඩසටහන් වින්දිතයන්ගෙන් කප්පම් ගැනීමට අමතරව, සොරකම් කරන ලද දත්ත වෙනත් පාර්ශ්වයන් වෙත ලබාදීම ද සිදුකරන අතර, මෙය ද්විත්ව කප්පම් ගැනීමකි. සාමාන්යයෙන් කප්පම් ගැනීමේ අරමුණින් සිදුකරන ආක්රමණ වලදී බොහෝ දුරට සිදුවන්නේ සොරාගත් මුරපද හෝ අනාරක්ෂිත අනන්යතා තොරතුරු හරහා වෙනත් පාර්ශ්ව වල ගිණුම් වෙත පිවිසීම ය. මෙය සිදුවීම වැළැක්වීම සඳහා, සියලුම ගිණුම්වල සහ සියලුම උපාංගවල බහුසාධක සත්යාපනය (multifactor authentication- MFA) බලාත්මක කළ යුතු බවට Cyber Signals නිර්දේශ කරයි. කිසියම් ජාලයක මූලික දුර්වලතාවක් හඳුනා ගත් පසුව එය භාවිතා කරමින් ප්රහාර මාලාවක් දියත් කිරීමට සයිබර් අපරාධකරුවන්ට හැකියාව ඇති නිසා, RaaS තර්ජනයන්ගෙන් ආරක්ෂා වීමට MFA වැනි මූලික ආරක්ෂක ක්රියාමාර්ග ගැනීම අත්යවශ්ය ය.
එමෙන්ම නිසි ආරක්ෂක විධිවිධාන භාවිතා නොකරන ජාලවල දුර්වලතා ප්රයෝජනයට ගනිමින්, එම ජාලයන්හි ඇතැම් ආරක්ෂක ක්රමවේද අකර්මණ්ය කරමින් තම ආක්රමණය දියත් කිරීමට ආක්රමණිකයන්ට හැකියාව ඇත. තවද ආක්රමණිකයන්ට යෙදුම් වල අනුපිටපත් හෝ භාවිතයට නොගන්නා යෙදුම් (විශේෂයෙන්ම ඒවා legacy configurations ලෙස පවතී නම්) හරහා ප්රවේශය ලබාගත හැකි වේ. ආරක්ෂක විධිවිධාන නිසි පරිදි ක්රියාත්මක වන බව තහවුරු කරගැනීම සහ, ජාල නිතිපතා ස්කෑන් කිරීම මගින් Ransomware ආක්රමණ වලින් ආරක්ෂා වීම වඩාත් පහසු වනු ඇත.
එපමණක් නොව, පැරණි අවදානම්ද ආක්රමණ වලට මූලික වශයෙන් බලපාන අතර, බොහෝ අවස්ථාවල දී ඒ සඳහා වහාම ‘vendor patches’ යෙදීම අවශ්ය වේ. මෘදුකාංග ආදිය අඛණ්ඩව යාවත්කාලීන කරමින් පවත්වා ගැනීම සහ සුදුසු අවස්ථාවලදී ක්ලවුඩ් පාදක කරගත් සේවා වෙත යොමු වීම මගින් Ransomware ආක්රමණවලින් ආරක්ෂා වීමට බොහෝ දුරට හැකියාව ලැබෙනු ඇත.
කිසියම් පුද්ගලයෙකු නොමග යවනසුළු (Phishing) ඊමේල් වංචාවකට හසු වූයේ නම්, ආක්රමණිකයෙකුට අදාළ පෞද්ගලික දත්ත වෙත පිවිසීමට ගතවන කාලය සාමාන්යයෙන් පැය එකකුත් විනාඩි 12 ක් බව සයිබර් සංඥා පෙන්වා දෙයි. අන්ත-ලක්ෂ්ය තර්ජන සම්බන්ධයෙන් ගත් විට, උපාංගයක් අවදානමට ලක්වුවහොත් ප්රහාරකයෙකුට ආයතනික ජාලයක් තුළට ප්රවේශ වීම ආරම්භ කිරීමට ගතවන කාලය සාමාන්යයෙන් පැය එකයි මිනිත්තු 42 කි.
ඉහත සඳහන් කරුණු සලකා බලන විට, කප්පම් ගැනීම ඉලක්ක කරගත් හානිකර පරිගණක වැඩසටහන් වලින් සහ එම ආක්රමණිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා, ආරක්ෂක විධිවිධාන තරකිරීම සහ සයිබර් ආරක්ෂාව වෙනුවෙන් නිසි ආයෝජන සිදුකිරීම අත්යවශ්ය බව පැහැදිලි වේ. සයිබර් ආක්රමණ ප්රමාණය මෙන්ම සංකීර්ණත්වය අතින් වර්ධනය වෙමින් පවතින පසුබිමක් තුළ, ආරක්ෂක සංඥා ට්රිලියන 43 ක් විශ්ලේෂණය කරමින් සහ ආරක්ෂාව සම්බන්ධ විශේෂඥයන් 8500 කට අධික පිරිසකගේ අදහස් සැලකිල්ලට ගනිමින් කරුණු ඉදිරිපත් කරන Microsoft සමාගමේ සයිබර් සංඥා, ලොව සමාගම්, ආයතන හා සංවිධාන වලට කප්පම් ඉල්ලීම් ඇතුළු සියලුම ආකාරයේ සයිබර් තර්ජන හා ආක්රමණ වලින් ආරක්ෂා වීමට වැදගත් වන පුළුල් මගපෙන්වීමක් ලබාදෙයි.

Video Story