• Ada Derana BIZ Sinhala
  • palm oil
  • sri lanka

පාම් තෙල් වල සැබෑ අගය අප වටහා නොගන්නේ ඇයි?

December, 21, 2022

පදනම් විරහිත ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාවට අහිමි වන මහඟු සම්පතක්

ලෝකයම ඔයිල් පාම්(කටු පොල් වගාව) වැනි ඵලදායී සහ ආර්ථික වශයෙන් වැදගත් භෝග වගා කර තම ආර්ථිකයන් ශක්තිමත් කරගැනීමට උත්සාහ දරමින් සිටින යුගයක ශ්‍රී ලංකාව හිතාමතාම ඔයිල් පාම් වගාව සහ එමගින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ අහිමි කරගනිමින් සිටී.

පාම් තෙල් හුදෙක් ඉවුම් පිහුම් වලට පමණක් නොව, මාජරින්, බිස්කට්, රසකැවිලි, බේකරි නිෂ්පාදන ආදිය සඳහා මෙන්ම ආහාර නොවන නිෂ්පාදන වර්ග රැසක් සඳහාද භාවිතා වේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික එළවලු තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 250,000 ක් පමණ වන නමුත් මෙරට තුළ වසරකට නිෂ්පාදනය කෙරෙනුයේ එළවලු තෙල් මෙට්‍රික් ටොන් 50,000 ක පමණ ප්‍රමාණයකි. මේ නිසා ශ්‍රී ලංකාවට එළවලු තෙල් ආනයනය සඳහා විශාල වශයෙන් විදේශ විනිමය වැයකිරීමට සිදු වී තිබේ. රටේ එළවලු තෙල් ඉල්ලුම දේශීය නිෂ්පාදන වලින් සපුරා ගත හැකි නම්, වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 27 ත් 44 ත් අතර ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇතැයි ගණන් බලා ඇත.

එහෙත් අවාසනාවකට, එළවලු තෙල් අතරින් වැඩිම ඵලදාවක් ලබාදෙන භෝගය වන ඔයිල් පාම් සම්බන්ධයෙන් මෙරට ජනතාවට නිවැරදි අවබෝධයක් නොමැත. කිසිදු සොයාබැලීමකින් තොරව, පාම් තෙල් සම්බන්ධ මිථ්‍යාවන් විශ්වාස කිරීමට ජනතාව පෙළඹී සිටී.

මෙම පදනම් විරහිත අදහස් නිසාම රජයද ඔයිල් පාම් වගාව තහනම් කිරීමට පෙළඹී ඇත. මෙය සිදු වී ඇත්තේ, ඔයිල් පාම් වගාව හෝ පාම් තෙල් පරිභෝජනය මගින් පරිසරයට හෝ සෞඛ්‍යයට සැලකිය යුතු මට්ටමේ තර්ජනයක් ඇති නොවන බවට ලොව පුරා පර්යේෂණ වලින් ඔප්පු වී තිබියදී ය.

ඇත්ත වශයෙන්ම, විද්‍යාත්මක පර්යේෂණ වල සහය ඇතිව, ඉන්දියාව, මැලේසියාව හා ඉන්දුනීසියාව ඇතුළු තවත් රටවල් රාශියක් සාර්ථක හා තිරසාර ලෙස තම රටවල පාම් තෙල් නිෂ්පාදනය පුළුල් කර තිබේ. මෙමගින් විශේෂයෙන්ම එම රටවල ග්‍රාමීය ප්‍රදේශ වලට පුළුල් ආර්ථික ප්‍රතිලාභ හිමි වී ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ, නීතියට අනුව, නො-ඉඳුල් ඉඩම් වල ඔයිල් පාම් වගාකිරීම තහනම් වන අතර, ඒවා වගා කළ හැක්කේ මීට පෙර වෙනත් වගාවන්ට භාවිතා කළ ඉඩම් වල පමණි. ඇත්ත වශයෙන්ම, දශක ගණනාවක් තිස්සේ වගා කරනු ලැබීමෙන් අනතුරුව අස්වැන්න අඩු වී යමින් පවතින රබර්, තේ සහ වෙනත් භෝග වගා කළ ඉඩම් වලට ඇති හොදම විකල්පය වන්නේ ඔයිල් පාම් ය.

පාම් තෙල් නිෂ්පාදනය වැඩි කිරීම මගින් ශ්‍රී ලංකාවට අඩු වියදමින් රටේ එළවලු තෙල් අවශ්‍යතාව සපුරාගත හැක. විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව සමස්තයක් ලෙස නිෂ්පාදන හා කාර්මික ක්‍රියාවලි රැසකට පාම් තෙල් අවශ්‍ය වේ. පාම් තෙල් වලට විකල්ප ලෙස භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය ආර්ථික වශයෙන් අවාසිදායක බවත්, එම නිසා තම නිෂ්පාදන වල තත්ත්වය පහළ ගොස් මිල ඉහළ යන බවත් මෙම ව්‍යාපාර හිමියන් නොයෙක් අවස්ථා වලදී පෙන්වා දී ඇත.

ඔයිල් පාම් වගාකිරීම වාසිදායක දෙයක් බව සනාථ කිරීමට මෙතරම් සාක්ෂි තිබියදී පවා, රජය එම කර්මාන්තයට සහාය දීම ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව, එහි වර්ධනය හා ක්‍රියාකාරීත්වය සක්‍රීයව අවහිර කිරීමට පවා කටයුතු කිරීම සැබැවින්ම කනගාටුදායක ය. ගෝලීය වශයෙන් සිදුකළ පර්යේෂණ වල ප්‍රතිඵල මගින් ඔයිල් පාම් වගාව අහිතකර නොවන බව පෙනී ගොස් තිබියදීත්, කිසිදු විධිමත් අධ්‍යයනයකින් හෝ පර්යේෂණයකින් තොරව, සැඟවුණු න්‍යාය පත්‍ර ඇති බවට නිසැකව කිවහැකි ක්‍රියාකාරීන් කණ්ඩායම් අතළොස්සක් සතුටු කිරීම සඳහා රජය මෙම පියවර ගෙන තිබේ.

පාම් තෙල් සම්බන්ධයෙන් ගනු ලබන ඕනෑම තීරණයක්, විද්‍යාත්මක සාක්ෂි, තර්ක බුද්ධිය සහ ඉදිරි දැක්ම මත පදනම් විය යුතු ය. විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ, රජය ඔයිල් පාම් වගාවට නිසි සහයෝගය ලබාදීම අතිශයින් වැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත.

ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමය ඇතුළුව විවිධ සංවිධාන මේ වනවිට ඔයිල් පාම් තහනම නැවත සලකා බලන මෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඔයිල් පාම් වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි වීම සහ ග්‍රාමීය ප්‍රදේශ වල ආර්ථිකය නංවාලීමට එයට ඇති හැකියාව වැනි සාධක මෙහිදී පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම මහා පරිමාණ ප්‍රාදේශීය වැවිලි සමාගම් වලට අමතරව  කුඩා පරිමාණ වගාකරුවන්ට ද ඔයිල් පාම් වගාව සිදුකළ හැකි අතර, එමගින් ග්‍රාමීය ප්‍රජාවන්ට මෙන්ම සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට ප්‍රතිලාභ රාශියක් සැලසෙනු ඇත.

කෙසේ නමුත් තවමත් රජය පාම් ඔයිල් වගාව ව්‍යාප්ත කිරීම තහනම් කිරීමේ තීරණයෙහි දැඩිව එල්බගෙන සිටී. මෙය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය මට්ටමට සහ ග්‍රාමීය ප්‍රජාවන්ගේ යහපතට පමණක් නොව, රටේ ආර්ථිකයේ ජීවනාලිය ලෙස සැලකෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලටද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

මේ ආකාරයට, ආර්ථිකයේ යහපත වෙනුවට හුදෙක් ඡන්ද පදනම වැඩි කර ගැනීම වෙනුවෙන් ගන්නා ලද මෙම තීරණය මෙන්ම අනෙකුත් අදූරදර්ශී, පදනම් විරහිත තීරණ නිසා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වන්දි ගෙවීමට සිදු වී ඇත. මෙම තත්ත්වය හැකි ඉක්මනින් වෙනස් විය යුතු ය.

ආනුභවික දත්ත, විද්‍යාත්මක සාක්ෂි සහ විශේෂඥ උපදෙස් මත පදනම් වී තර්කානුකූලව කටයුතු කරන ලෙසත්, ඔයිල් පාම් වගාව සඳහා පනවා ඇති තහනම ඉවත් කර එම කර්මාන්තය සවිබල ගන්වන ලෙසත් තම නායකයන්ගෙන් ඉල්ලා සිටීමේ වගකීම දැන් සියල්ලන් වෙත පැවරී තිබේ. එය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන ඉල්ලීමක් වනු ඇත.

  • Ada Derana BIZ Sinhala
  • benefits
  • organic
  • palm oil
  • sri lanka

ශ්‍රී ලංකාවේ කාබනික පාම් ඔයිල් වගාවේ නව්‍ය ප්‍රතිලාභ

September, 20, 2022

සියලු අභිමතාර්ථ සඳහා වත්මන් පරපුර සූදානම් කිරීම ජාතික අවශ්‍යතාවයකි. තිරසාර බෝග වගාව සහ පරිසරය සුරක්ෂිත කිරීම, පස සහ සියලුම ජීවීන් සුරක්ෂිත කිරීම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන කෘෂිකර්ම සැලසුම් පාම් ඔයිල් වගාව සඳහා වර්තමානයේ දී වැඩි අවධානයක් දිනාගෙන ඇති මාතෘකාවක් වන අතර කටු  පොල් වගාවද ස්වභාවික වගාවක් වන අතර එයින් පාරිසරික තිරසාර කළමනාකරණයට හානියක් ඇති කිරීමේ අඩු ප්‍රවණතාවක් පවතී.

පාම් තෙල් යනු බහු බහුකාර්ය අමුද්‍රව්‍යයක්  වන අතර වෙළෙඳපොළේ පවතින විවිධ නිෂ්පාදන අවශ්‍යතා වලින් වැඩි ප්‍රමාණයක් නිපදවා ඇත්තේ මෙහි තෙල් පාම් තෙල් උපයෝගී කරගෙනයි. බිස්කට්, රස කැවිලි,  සුවඳ විලවුන් පවිත්‍රකාරක ඒ අතර ප්‍රධාන තැනක් ගනී.  මෙම වගාව සලකනු ලබන්නේ වැඩිම තෙල් අස්වැන්නක් ලබාදෙන වගාවක් ලෙසත්, සූරියකාන්ත, රටකජු, සෝයා, බෝංචි වගාවන්ට සාපේක්ෂව වැඩි තෙල් අස්වැන්නක් ලබාදෙයි. එසේම වාර්ෂිකව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඛාද්‍ය තෙල් විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබන අතර එමගින් මෙරට මුදල් විශාල ලෙස වෙනත් රටවලට ඇදී යනු ලබන අතර මෙරට තුළ කාබනික පාම් ඔයිල් වගාව ප්‍රචලිත කර එය වගා කිරීම තුළින් එම විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීමේ හැකියාව පවතී. පාම් ඔයිල් වගාවේ කිසිදු අතුරු ඵලයක් අපතේ නොයෑම දක්නට ලැබෙන අතර එය තිරසාර වගා ක්‍රමයේ එක් අංගයකි. එනම් තෙල් නිෂ්පාදනයෙන් පසුව ඉදිරි ඉතිරිවන අපද්‍රව්‍ය (POME) පාම් ඔයිල් වගාව සඳහා කාබනික ද්‍රව්‍යයක් ලෙස යොදා යොදා ගනිමින් පවතින අතර මෙම කාබනික පාම් ඔයිල් නිපදවා ගැනීමේ අවධානය පැතිරෙමින් පවතී.

එනම් පාම් තෙල් නිස්සාරණය කර ඉතිරි වන ද්‍රව්‍ය කාබනික පොහොරක් ලෙස යොදා ගත හැක. මෙය කොකෝවා, කෝපි වැනි දිගු කාලීන බෝග සඳහා අන්නාසි,කෙසෙල්, ඉඟුරු, කහ ආදි කෙටි කාලීන බෝග සඳහා යොදා ගැනීම තුළින් ඉහළ ගුණාත්මක අස්වැන්නක් ලබාදෙන බව තහවුරු කර ඇත.

තෙල් නිස්සාරණය කිරීමෙන් පසු ඉතිරි වන මෙම ද්‍රව්‍යයන්හි නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, සහ කෘෂි මූල ද්‍රව්‍යයන් වන මැග්නීසියම්, සල්ෆර්, කැල්සියම්, කොපර්, යකඩ යන සංඝටක වගාවට ලබාදීමේ හැකියාව පවතී.

දැනට ලොව විවිධ ස්ථානයන්හි මේවා කාබනික දියර පොහොර ලෙස  යොදාගනිමින් පවතී. මෙවැනි අත්හදා බැලීම් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨය සහ ජාතික වැවිලි කළමනාකරණ ආයතනය හා එක්ව බණ්ඩක්කා සහ කන්කුන් වගාව සඳහා සාර්ථකව යොදා ගෙන ඇත.

ඒසේම රුහුණු විශ්ව විශ්ව විද්‍යාලය කෘෂි විද්‍යා පීඨ සහ ඇල්පිටිය වැවිලි සමාගම ඒකාබද්ධව සිදු කරගෙන යනු ලබන පර්යේෂණයකින් 100% කාබනික ද්‍රව්‍ය යොදා සිදු කරනු ලබන පාම් තෙල් වගාවෙන් වැඩි අස්වැන්නක් නිර්දේශිත රසායනික පොහොර යෙදූ වගාවට වඩා වැඩියෙන් ලැබී තිබේ. එනම් කාබනික ද්‍රව්‍ය යොදා වගා කර ගනු ලැබූ වගාවේ එක් කටු පොල් වල්ලක (Bunch) වැඩි බරක් (42KG) සහ විශාල ඵල (Fruits) (39%) ඇති වන බවට දත්ත  ලැබී තිබේ. එසේම 100% කාබනික වගාවේ සහ (100%) රසායනික පොහොර යොදා වගා කරනු ලබන  ඵලයන්හි (Fruits) තෙල් ප්‍රතිශතයක් සංසන්දනය කරනු ලබන පර්යේෂණ කටයුතු දැනට සිදු කරමින් පවතී.

එසේම පාම් තෙල්  වගාවේ අස්වැන්න ලෙස ගනු ලබන්නේ එහි ඵලය වන අතර (Fruit ) අනෙකුත් සියලු දේ (අතු,මල්,හනසු,තෙල් ලබා ගැනීමෙන් පසු ඉතිරිවන ද්‍රව්‍ය (POME) කටු පොල් ශාකයට හෝ එම වගාවට යොදා ගැනීම වැඩි විභවයක් පවතී.

මේ අනුව බලන විට පාම් තෙල් වගාව ක්ෂේත්‍රයෙන් අස්වැන්න ලෙස ඉවත් වන ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා අල්ප වන අතර මෙය තිරසාර වගා පද්ධතියක මූලික ලක්ෂණයක් වන්නේ ය. එසේ ම තිරසාර වගාවේ තවත් එක් පැතිකඩක් වන්නේ රටේ සාමාජීය දියුණුව නංවාලීම. එසේම මෙරට ස්ථාපිතව ඇති වෙනත් වැවිලි බෝග යන්ට සාපේක්ෂව වැඩි වැටුප් ලබා ගැනීමේ හැකියාව සේවයේ නිරත වන්නන්ට ලැබී තිබේ.

උදා: රබර් වගාවේ නියැලෙන සේවක මහතුන්ට අනුව කටු පොල් වගාවේ යෙදෙන සේවක මහතුන් රබර් වගාවේ නියැලෙන්නන්ට වඩා තුන් ගුණයක් වැඩි වැටුප් ආදායමක් ලබන බවත් එමගින් ඔවුන්ගේ සාමාජීය මට්ටම ඉහළ ගොස් ඇති බවත් දැනටමත් සටහන් කරනු ලබයි.

මේ අනුව බලන විට කාබනික කටු කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමෙන් මෙරට ආර්ථික / සාමාජීය වශයෙන් ඉහළ නැංවීමේ වැඩි විභවයක් පවතී.

ආචාර්ය : අයි.ආර්.පලිහක්කාර - රුහුණ විශ්ව විද්යාල කෘෂි පීඨය

ඩී.යූ.එච්.බුලුගහපිටිය - ඇල්පිටිය වැවිලි සමාගම