• Ada Derana BIZ Sinhala
  • Rhino
  • sri lanka

රයිනෝ සමාගම ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමේ මෙහෙවරක

September, 7, 2022

ගම්පහ ප්‍රදේශයේ පැරණිතම පාසල් අතරින් එකක් වන තක්ෂිලා විද්‍යාලය 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවති සමයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්විය. ඒ එම කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොඩනැගිල්ලක් තුළ දරුවන් පිරිසක් විභාගයට පෙනී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම හේතුවෙනි. මෙම සිදුවීමෙන් අනතුරුව මෙම දරුවන් මුහුණ පාන විවිධාකාර වූ දුෂ්කරතා පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විය. එම දරුවන්ට අවශ්‍ය පහසුකම් නොපමාව සැලසීමේ වැදගත්කම අවබෝධ කරගත් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම (Rhino Roofing Products Limited), රටේ පවතින දුෂ්කර තත්ත්වය හමුවේ පවා ඒ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කළේ ය.

1992 ජූනි 12 දින සිසුන් 60 දෙනෙකුගෙන් ආරම්භ වූ ගම්පහ තක්ෂිලා විද්‍යාලයෙහි මේ වනවිට සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් සිසු සිසුවියෝ 2250 ක් පමණ ඉගෙනුම ලබති. කෙසේ නමුත් පසුගිය කාලය තුළ එම පාසලට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වූ අතර, විශේෂයෙන්ම ජාතික මට්ටමේ විභාග වලට පෙනී සිටින දරුදැරියන්ට එමගින් විශාල බලපෑමක් එල්ල විය. එම තත්ත්වය හඳුනාගනිමින්, දරුවන්ට සුරක්ෂිත ලෙස අධ්‍යාපනය ලැබීමට හැකි වන ආකාරයට පාසල් ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා, රයිනෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ එහි ඉහළ කළමනාකාරීත්වය තීරණය කළේ ය.

“රටේ සැබෑ වෙනසක් වෙනුවෙන් පෙරමුණ ගන්නේ දරුවන් සහ තරුණ පරපුර කියා මා විශ්වාස කරනවා. වගකීම්සහගත ආයතන සහ වැඩිහිටියන් වශයෙන් අප ඔවුන්ට අනාගත නායකයන් බවට පත්වීම සඳහා අවශ්‍ය අත්වැල ලබාදිය යුතුයි. පාසල යනු සෑම දරුවෙකුගේම ජීවිතයේ මූලික අඩිතාලමක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. අධ්‍යාපනය යනු කාටත් සමානව හිමි විය යුතු වරප්‍රසාදයක්. එය ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දරුවන්ටත් නො-අඩුව ලබාදීම සඳහා මැදිහත් වීමට අප තීරණය කළා. එමෙන්ම මේ දරුවන්ට ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සුභාශිංසන පිරිනැමීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.” රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා පැවසී ය.

වගකීම්සහගත ආයතනික පුරවැසියෙකු වශයෙන් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම වසර 60 කට අධික කාලයක් තිස්සේ රටේ යහපත උදෙසා පෙරමුණ ගෙන කටයුතු කර තිබේ. මෙම නවතම ව්‍යාපෘතිය සමගින් එම සමාගම, රටේ වටිනාම සම්පත වන දරු පරපුරේ හෙට දිනය වඩාත් යහපත් කිරීම සඳහා ඉදිරිපත් විය. මේ වනවිට රටේ ආර්ථිකය මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයද අර්බුද රැසකට මුහුණ දී සිටින නමුත්, රටේ අනාගතය වෙනුවෙන් මෙම වටිනා ප්‍රජා සත්කාරය ක්‍රියාවට නැංවීමට රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම තීරණය කළේ ය.

“තක්ෂිලා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වසර 30 කට අධික ඉතිහාසයක් සහිත සුප්‍රකට පාසැලක්. 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවති කාලයේදී මුහුණ දීමට සිදු වූ ගැටලුව අප කිසිවෙකුත් අපේක්ෂා කළ දෙයක් නොවෙයි. එම අවස්ථාවේදී ගොඩනැගිල්ල අලුත්වැඩියා කර දීම සඳහා රයිනෝ සමාගම ඉදිරිපත් වුණා. අප පාසල කවදත් දක්ෂ දරුවන් බිහිකළ පාසලක්. මේ නව පහසුකම් නිසා දරුවන්ට වඩාත් සතුටින් හා සැහැල්ලුවෙන් තම අධ්‍යාපන කටයුතු වල නිරත වීමට අවස්ථාව ලැබේවි. මෙය තක්ෂිලා විද්‍යාලයේ වර්තමාන මෙන්ම අනාගත සිසු දරු දැරියන් වෙනුවෙන් ලැබුණු වටිනා පරිත්‍යාගයක් ලෙස අප සලකනවා. එමෙන්ම මෙය එම දරුවන් තවදුරටත් අධ්‍යාපන කටයුතු වලට උනන්දු කරවන පියවරක් වේවි.” ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිනිය වන එම්. ඒ. අනුලා පද්මිණී මහත්මිය පැවසුවා ය.

1962 වසරේදී සාමාන්‍ය මට්ටමින් ආරම්භ වූ රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම මේ වනවිට රටේ ප්‍රමුඛතම වහල සෙවිලි කිරීමේ විසඳුම් පිරිනමන සමාගම බවට පත්වී ඇත. දශක ගණනාවක් තිස්සේ එම සමාගම ඉහළම ප්‍රමිතියෙන් යුත් සෙවිලි තහඩු සහ අනෙකුත් නිෂ්පාදන හඳුන්වා දෙමින් මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට මිල කළ නොහැකි දායකත්වයක් ලබාදෙමින් සිටී.

  • Ada Derana BIZ Sinhala
  • Great Place to Work®
  • Rhino
  • sri lanaka

රයිනෝ වසර 60 ක් සපුරයි, Great Place to Work® පිළිගැනීම අත්පත් කරගනී

June, 10, 2022

වහල සෙවිලි කිරීමේ නිෂ්පාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන රයිනෝ, මෙම වසරේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ වසර 60ක් සපුරන්නේය. ඒ හා සමාන්තරව සමාගමේ සේවක ප්‍රජාවගේ මනාප ප්‍රකාශ කිරීමක් හරහා Great Place to Work® ආයතනයෙන් ලබාදෙන විශිෂ්ට සේවා ස්ථානයක් යන පිළිගැනීමත් අත්පත් කරගැනීමට සමත්වී ඇත. යහපත් ආයතනික පුරවැසියෙකු ලෙස කැපී පෙනෙන රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම, මෙම නවතම පිළිගැනීමත් සමඟින් විශිෂ්ට සේවා සංස්කෘතියක් සහිත වටිනාකම් මත පදනම් වූ සංවිධානයක් ලෙස තවදුරටත් ගෞරවයට පාත්‍ර වෙයි.

ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 24 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2020/21 කාලසීමාව සඳහා අගය එකතු කළ ඛනිජ අංශයේ විශිෂ්ටතම අපනයනකරු ලෙස සම්මානයෙන් පිදුම් ලද රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම, පසුගිය දශක හය තුළ ව්‍යාපාරයේ යෙදෙමින් ආර්ථිකයට සුවිශාල දායකයෙකු ලෙස රට තුළ සිය ස්ථාවරය තහවුරු කර ඇත. මෙවසර මැයි මාසයේදී 60 වන සංවත්සරය සමරන Rhino, 100% ශ්‍රී ලාංකික සමාගමක් වන අතර දශක ගණනාවක් තිස්සේ හොඳම තත්ත්වයේ නිෂ්පාදන වෙළඳපොළට සැපයීම කෙරෙහි අවධානය යොමු කර ඇත. එමෙන්ම, ගුණාත්මක සෙවිලි නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ඇති කරමින්, ගෝලීය ක්‍රීඩකයන්ට එරෙහිව තරඟ කිරීමට ද උපායශීලීව ස්ථානගත වී ඇත.

රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ E. J. ඥානම් මහතා මෙම සන්ධිස්ථානය සහ පිළිගැනීම පිළිබඳව අදහස් දක්වමින්, “උදාර ආයතනික පුරවැසියෙකු ලෙස හැට වසරක් සමරන අවස්ථාවේ Great Place to Work පිළිගැනීම ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. අපගේ දිවංගත සභාපති දේශමාන්‍ය A.Y.S. ඥානම් මහතාගේ 100 වැනි උපන්දිනය අපි මේ මැයි මාසයේදී සැමරූ අතර, සියල්ලන්ටම එකසේ සලකන අපගේ සේවා සංස්කෘතියේ ධනාත්මක බලපෑම සහ නිවැරදි සාරධර්ම පිළිබිඹු කරන මෙම ප්‍රධාන සන්ධිස්ථානයට සමගාමීව අප ආයතනය කෙරෙහි අපගේම සේවකයින් තබා ඇති විශ්වාසය ගැන මම සතුටු වෙමි.” යයි ඔහු ප්‍රකාශ කළේය.

2022 ජූනි මාසයේදී 60 වැනි සංවත්සරයට සමගාමීව රයිනෝ වෙත Great Place to Work පිළිගැනීම පිරිනමන ලදී. Great Place to Work® ආයතනය, සේවා ස්ථානයේ සේවක අත්දැකීම් පිළිබඳව සියලු අංශ පරීක්ෂා කරන ශක්තිමත් සමාලෝචන පද්ධතියක් අනුගමනය කරමින්, වෙළඳපොලේ හොඳම සේවා යෝජකයන් හඳුනා ගනී. Rhino,  ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ සේවා ස්ථානයක්  ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය ගෝලීය ඇගයීම් ප්‍රමිතීන් සියල්ල සපුරාලීය.  පුද්ගල මූල සංස්කෘතියක් තිබීම, සේවා යෝජකයා සහ සේවකයා අතර අන්‍යොන්‍ය සහයෝගීතාවය සහ වඩාත්ම වැදගත් වශයෙන් තමන් විශිෂ්ට ස්ථානයක සේවය කරන බවට සේවකයින් තුළ ඇති විශ්වාසය මෙහිදී සලකා බලනු ලැබිණි.

“තමන්ගේ මානව සම්පත් සංවර්ධනය කිරීමට අදිටන් කරන අනෙකුත් දේශීය සමාගම්වලට ආදර්ශයක් වීමට රයිනෝ රූෆිං සැමවිට උත්සහ කරයි. සේවකයින් රැකබලා ගැනීම ඔවුන් තුළ හිමිකාරීත්වය පිළිබඳ හැඟීමක් ඇති කරන අතර, ආයතනික වටිනාකම් මෙන්ම සේවා යෝජකයාගේ සහ සේවකයින්ගේ උනන්දුව ආරක්ෂා කරන අතරම කාර්ය සාධනය මත පදනම් වූ සංස්කෘතියක් ඇති කරයි. අපේ අවුරුදු 60ක උරුමය දේශසීමාවලින් ඔබ්බට ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යන මේ අවධියේ, අපි ක්ෂේත්‍රයේ මිණුම් දඬු වලින් ඔබ්බට යන උසස් ප්‍රමිතීන් සකසා ඇත්තෙමු. ප්‍රත්‍යස්ථභාවය සහ අඛණ්ඩතාව සමඟින් අපගේ මූලික වටිනාකම්වලින් එකක් වන ගුණාත්මක භාවයෙන් ද අපි අද්විතීය වෙමු. අප ප්‍රදර්ශනය කරන ඉහළ වෘත්තීයභාවය සහ අපගේ දිවංගත සභාපතිවරයා තුලින් උරුමවූ අපගේ කීර්තිය අපට අඛණ්ඩව මඟ පෙන්වනු ඇත.” ඥානම් වැඩිදුරටත් පැවසීය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ ආර්ථික පසුබෑම මධ්‍යයේ රයිනෝ සිය සේවකයින් රැකබලා ගැනීමට පරිශ්‍රමයක් දැරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අභියෝගාත්මක කාලවලදී පවා ආයතනික කාර්ය සාධනය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට මග පෑදූ සේවක පක්ෂපාතීත්වයක් ඇති විය. Great Place to Work විසින් මෑතකදී කරන ලද සමීක්ෂණයට ධනාත්මකව ප්‍රතිචාර දැක්වීමෙන් සේවකයින් සමාගම කෙරෙහි ඔවුන්ගේ පක්ෂපාතිත්වය සහ කෘතඥතාව හෘදයාංගමව සහතික කර ඇත.