October, 4, 2022
අද (04) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි විශාල කඩා වැටීමක් වාර්තා විය.
සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 412.81 ක හෙවත් 4.28% ක දැවැන්ත පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 9,237.05 ක් ලෙසින් සටහන්ව තිබුණි.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 173.66 ක් එනම් 5.70% පහළ යාමක් දිනය තුළ වාර්තා කර තිබුණි. එහි අගය දිනය අවසානයේ දී දැක්වුණේ ඒකක 2,875.21 ක් ලෙසයි.

රු. බිලියන 4.54 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
මේ අතර පසුගිය සතියේ සිකුරාදා (සැප්තැම්බර් 30) ගනුදෙනු අවසානයේ දී රු. ට්රිලියන 4,341.12 ක් ලෙසින් සටහන්ව තිබු වෙළෙඳපොළ ප්රාග්ධනීකරණ වටිනාකම අද (04) දින ගනුදෙනු අවසානයේ දී රු. ට්රිලියන 4,017.23 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි.
මේ අනුව ඊයේ (03) සහ අද (04) දෙදින තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ගොස් ඇති වටිනාකම රු. බිලියන 323.88 ක් වේ.
අද දින මිල දර්ශකවල කඩා වැටීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, ලංකා අයි.ඕ.සී., වැලිබල් වන්, හේලීස් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන ඉහළ වෙළෙඳපොළ ප්රාග්ධනීකරණයකට හිමිකමු කියනු ලබන සමාගම්වල කොටස් මිල පහළ යාම් විශාල වශයෙන් බලපා තිබුණි.
අද දින සියලු කොටස් මිල දර්ශකයට සමාගම් 206 කින්ම ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයකි. සමාගම් 18 කින් පමණක් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණි.
මේ අතර අද දින ගනුදෙනු ආරම්භ වී සුළු මොහොතකින්, එනම් පෙරවරු 10.11 ට දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර S&P SL20 දර්ශකය පෙර දිනයට වඩා 5% ක් ඉක්මවා පහළ ගොස් තිබීම ඊට හේතුවිය. අනතුරුව නැවත වරක් දෛනික ගනුදෙනු ආරම්භ වූයේ පෙරවරු 10.41 ටයි.

October, 3, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 12.04 ට අත්හිටුවනු ලැබීය.
පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී S&P SL20 දර්ශකය 5%ක ප්රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම මීට හේතුවයි.
ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නියමයන් ප්රකාරව S&P SL20 දර්ශකය පෙර ගනුදෙනු දිනයට වඩා 5% ක ප්රමාණයක් ඉක්මවා පහළ ගියහොත් මිනිත්තු30 කාලයක් සඳහා දෛනික ගනුදෙනු අත්හිටුවනු ඇත.
ඒ අනුව පස්වරු 12.04 ට ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර, සාමාන්ය කොටස් වෙළෙඳපොළ වසනු ලබන වේලාව වන පස්වරු 12.30 ට පෙර නැවත වරක් ගනුදෙනු ආරම්භ කිරීමට අවකාශයක් නොමැති බැවින් අද දිනයේ ගනුදෙනු සමාප්තිය මේ සමඟ සටහන් කෙරෙනු ලැබේ.
එම අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.63 කින් පහළ ගොස් ඒකක 9,551.44 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 156.02 කින් පහළ ගොස් ඒකක 3,009.31 ක් ලෙසත් සටහන්ව තිබුණි.
පසුගිය කාලය පුරාවට සියලු කොටස් මිල දර්ශකයේ විචලනයට ඉහළ දායකත්වයක් ලබා දුන් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සහ ලංකා අයි ඕ සී යන සමාගම් දෙකෙහි කොටස් මිල ගණන් අද දින විශාල වශයෙන් පහළ යාම මෙලෙස මිල දර්ශකවල කඩා වැටීමට බෙහෙවින් බලපා ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

September, 26, 2022
අද (26) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 120.59 ක කඩා වැටීමක් වාර්තා කළේය.
ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,844.21 ක් ලෙස වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 46.11 කින් පහළ ගොස් ඒකක 3,156.90 ක් ලෙසින් සටහන්ව තිබුණි.
අද දින රු. බිලියන 4.57 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී රු. බිලියන 2.13 ක් විදේශීය මිල දී ගැනීම් ලෙස සටහන් වීම විශේෂත්වයකි. අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.43 ක් ලෙසින් වාර්තා විය.
එමෙන්ම දේශීය විකිණුම් රු. බිලියන 4.21 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 354.17 ක් ලෙසින් දිනය තුළ වාර්තා වී තිබුණි.
අද දින සමාගම් 4කින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු (Crossings) වාර්තා විය. එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. බිලියන 1.71 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 78.41 ක්, ඩයලොග් ආසියාටා රු. මිලියන 60.63 ක් හා රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි රු. මිලියන 29.31 ක් ලෙසින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු වාර්තා විය.
මීට අමතරව ලංකා IOC රු. මිලියන 464.01 ක්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 346.17 ක් ACL කේබල්ස් රු. මිලියන 163.77 ක් හා රේනුකා ඇග්රි ෆුඩ්ස් රු. මිලියන 160.04 ක් ලෙසින් සාමාන්ය ගනුදෙනු හරහා දෛනික පරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් අතර පෙරමුණේ විය.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට කොමර්ෂල් බැංකුව, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, වැලිබල් වන්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් විශාල වශයෙන් බලපාන ලදී.

September, 15, 2022
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අධ්යක්ෂ මණ්ඩලය, ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර සමාගම් හි උපදෙස් ඇතිව පහත දක්වා ඇති පරිදි අද (2022 සැප්තැම්බර් 15 වැනි බ්රහස්පතින්දා) සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
පූර්ව වෙන්දේසි සැසිය - පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා
විවෘත වෙන්දේසිය - පෙරවරු 10.00
දෛනික ගනුදෙනු - පෙරවරු 10.00 ට ආරම්භ වේ.
ගනුදෙනු අවසානය - පස්වරු 12.30
මේ අනුව මෙතෙක් පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැය 2ක කාලයක්ව තිබූ කොටස් වෙළෙඳපොළ නිත්ය ගනුදෙනු සැසිය අද සිට පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා පැය 2 1/2 ක් දක්වා කාලයකට දීර්ඝ වනු ඇත.
Video Story