• Ada Derana BIZ Sinhala
  • Janashakthi Life
  • sri lanka
  • TAGS

ජනශක්ති ලයිෆ්,  මෙවර TAGS සම්මාන උළෙලෙහි දී රනින් පිදුම් ලබයි

January, 23, 2023

පුරෝගාමී ජීවිත රක්‍ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA  Sri Lanka) විසින් සංවිධානය කරන ලද 'TAGS සම්මාන 2022' සම්මාන උළෙලෙහි දී  රක්ෂණ අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුරන්ස් පීඑල්සී හී අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසුවේ ය. "කීර්තිමත් CA Sri Lanka ආයතනය සංවිධානය කළ TAGS සම්මාන උලෙළේ දී ඇගයීමට ලක් වීම අපට ගෞරවයක් වගේ ම, මෙම සම්මානය මඟින් අපගේ ආයතනික ස්ථාන ගත කිරීම රක්ෂණ ක්ෂේත්‍රයේ සම්මානලාභී සමාගමක් බවට උසස් වුණා. මෙම ජයග්‍රහණය ජනශක්ති ලයිෆ් සමාගම සතු ශක්තිමත් ප්‍රතිපත්ති, විනිවිදභාවය, මනා පාලනය සහ වටිනාකම් පිළිබඳ සාක්ෂියක්. අපගේ සියලු ම පාර්ශ්වකරුවන්ට නිවැරදි සහ ප්‍රමිති ගත වාර්ෂික වාර්තාවක් ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරන බව පැවසීමට කැමතියි. ඒ වගේ ම මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ අපගේ කණ්ඩායමට සුබ පැතීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා."

ජීවිත නඟා සිටුවමින් සහ සිහින සවි බල ගැන්වීමේ ආයතනික අරමුණ පෙර දැරි කරගනිමින් ක්‍රියාත්මක වන ජනශක්ති ලයිෆ් සෑම විටම තම පාර්ශවකරුවන්ට සදාචාරාත්මකව සහ විනිවිදභාවයෙන් යුතුව වැඩි වටිනාකමක් ලබා දීමට කටයුතු කරයි.  පාරිභෝගික ජනතාවගේ ජීවිතයේ සෑම අදියරක දී ම පැන නඟින විවිධ අවශ්‍යතා සඳහා ​​රක්ෂණ විසඳුම් සහ සේවාවන් ලබා දෙන ජනශක්ති ලයිෆ් මෙම අරමුණ සිය  සේවකයින් දක්වා පුළුල් කරමින්, තම කණ්ඩායම් සාමාජික සාමාජිකාවන්ගේ සිහින සහ අපේක්ෂාවන් බලගැන්වීමට සහ සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගය ලබා දීමට සුදුසු සේවා පරිසරයක් ගොඩනඟා ඇත.

ජනශක්ති ලයිෆ් ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘ශ්‍රී ලංකාවේ හොඳ ම ජීවිත රක්ෂණකරු' ලෙස පසුගිය දා ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් විය. ලන්ඩනය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් ව ඇති කැපිටල් ෆිනෑන්ස් ඉන්ටර්නැෂනල් (CFI.co) විසින් පිරිනමනු ලබන මෙම කීර්තිමත් සම්මානය මඟින් ආර්ථිකයේ වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වෙමින්, සියලු පාර්ශ්වකරුවන් සඳහා වටිනාකම් එකතු කරන ආයතන හඳුනා ගනිමින් ඇගයීමට ලක් කරයි. 2022 වසරේ දී ආකර්ෂණීය සන්නාම වටිනාකම් වර්ධනයක් වාර්තා කරමින්, ‘ශීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලාංකීය සන්නාමවලින් එකක්’ ලෙස TOP 10 ගෞරවය ලැයිස්තුවට ඇතුළත් වූ ජනශක්ති ලයිෆ් එම ජයග්‍රහණය හිමි කර ගත් මෙරට  එක ම රක්ෂණ සන්නාමය ලෙසින් ද හඳුන්වා දිය හැකි ය.

ජනශක්ති ලයිෆ් 2021 වසරේ දී පැවැත් වූ 3 වැනි ICC නැගී එන ආසියානු රක්‍ෂණ සම්මාන උළෙලේ දී, ‘රක්ෂණ ව්‍යප්තිය වෙනුවෙන් හොඳ ම උපාය මාර්ග’ සඳහා වන සම්මානය දිනා ගත්තේ, විශිෂ්ට රක්ෂණ විසඳුම් තුළින් කලාපීය රක්‍ෂණ  ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා දක්වන දායකත්වය වෙනුවෙනි.  තවද, ජනශක්ති ලයිෆ් 'වසරේ ගෘහස්ථ රක්ෂණකරු' ලෙස ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වූ අතර, 2022 රක්ෂණ ආසියා සම්මාන උළෙලෙහි දී   ‘වසරේ විශිෂ්ටතම ජංගම යෙදවුම' ට හිමි සම්මානය  දිනා ගැනීමට ද සමත් විය.

වසර 28ක කාලයක් පුරා, ජනශක්ති ලයිෆ් පීඑල්සී මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ඉදිරියටම ගමන් කිරීමට සමත්ව ඇති අතර, එම සමාගමේ 75 කට අධික දීප ව්‍යාප්ත ශාඛා ජාලය හරහා සෑම තරාතිරමක ම පුද්ගලයින්ට එහි අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමට හැකියාව ලබා දී ඇත.

  • Ada Derana BIZ Sinhala
  • Gold Award
  • Sarvodaya Development Finance Company
  • sri lanka
  • TAGS

සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම TAGS වාර්තාකරණය සඳහාවූ රන් සම්මානයෙන් පිදුම් ලබයි

January, 19, 2023

විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්ව (TAGS) වාර්තාකරණය සඳහා පෙන්නුම් කළ කැපවීම සහ විශිෂ්ටත්වය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී සංවර්ධන මූල්‍ය සමාගමක්වන සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම (Sarvodaya Development Finance PLC- SDF) වෙත පසුගියදා පැවති TAGS සම්මාන උළෙලේදී රන් සම්මානයක් හිමි විය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, 2022 දෙසැම්බර් 06 දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. SDF ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු, මහේෂ් ජයසංඛ මහතා විසින් මෙම සම්මානය සමාගම වෙනුවෙන් පිළිගන්නා ලදි.

TAGS සම්මාන උළෙලේදී මූල්‍ය සහ මූල්‍ය නොවන වාර්තාකරණය යන දෙ-අංශයෙන්ම ආයතනික වාර්තාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සමාගම් ඇගයීමට ලක් වේ. විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්ව‍ය වාර්තාකරණය සම්බන්ධ රටෙහි ප්‍රමිතීන් තවදුරටත් වර්ධනය කරවීම මෙහි ප්‍රධාන අරමුණයි. තවද සමාගම් හා ආයතන ඩිජිටල්කරණය සඳහා යොමුවීමත්, ඔවුන් විසින් මූල්‍ය, පාරිසරික සහ සමාජීය වාර්තාකරණය තවදුරටත් විධිමත් කිරීමට ගන්නා උත්සහයන් මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කරයි. ආයතනයන්‍හි විශාලත්වය හෝ ලාභ ප්‍රමාණය මත පදනම් නොවී විනිවිධභාවයෙන් හා වගකීමෙන් කටයුතු කරන අතරම සමාජයට නැවත ප්‍රතිලාභ ලබා දෙමින්, පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවරයන් ගනු ලබන ආයතන මෙම උළෙලේදී ඇගයීමට ලක් විය.

මෙලෙස ඇගයීමට පාත්‍ර වීම සම්බන්ධයෙන් තම අදහස් දක්වමින් සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා මෙසේ පැවසී ය. “විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසාරත්වය වාර්තාකරණය වෙනුවෙන් අප දක්වන කැපවීම මෙලෙස ඇගයීමට ලක්වීම අපට මහත් ගෞරවයක්. මෙම සම්මානය මගින් යළිත් තහවුරු වන්නේ, ආයෝජකයින්ට සහ ගනුදෙනුකරුවන්ට අපගේ ස්ථාවර කාර්යසාධනය සහ ඔවුන්ගේ අරමුදල් හා ආයෝජනවල ආරක්ෂාව කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවයි. විශේෂයෙන්ම සමාජීය ආයෝජකයින්ට (Impact investors), තම අරමුදල් යහපත් අරමුණු වෙනුවෙන් භාවිතා වන බවට මෙමගින් සහතික කරගැනීමට පුළුවන්. අප ආයතනයේ වටිනාකම්  සහ TAGS මූලධර්ම ඔස්සේ සෑම විටම තිරසාර හා ස්වාභාවික වර්ධනයක් අත්කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. සංවර්ධන මූල්‍ය සමාගමක් ලෙස වටිනාකම් නිර්මාණය තුලින් ජීවනෝපායන් නඟාසිටුවීම, කාන්තාවන් සවිබල ගැන්වීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය, සමාජ සංවර්ධනය සහ ග්‍රාමීය ආර්ථිකයන් නගාසිටුවීමට සහය වීම අපගේ බලාපොරොත්තුවයි. අප කෙරෙහි විශ්වාසය තබා, මානව හා සමාජ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳව අපගේ ආයෝජකයින්ට, තැන්පත්කරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ස්තූති කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

 

ඡායාරූපය: සර්වෝදය සංවර්ධන මුල්‍ය සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු මහේෂ් ජයසංඛ මහතා TAGS සම්මානය පිළිගත් අවස්ථාව