ඩො.මි. 430 ක, TATA Housing කොම්පඤ්ඤවීදිය මිශ්‍ර ව්‍යාපෘතිය ඇරඹෙයි

    May, 13, 2014

    ඉන්දියාවේ TATA Housing සමාගම නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව ඩොලර් මිලියන 430 ක් ආයෝජනය කරමින් කොම්පඤ්ඤවීදියේ අක්කර තුනක ඉඩමක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරයි.

    මේ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ඊයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් කළ අතර  නිවාස ඒකක 650 කින් සමන්විත කුළුණු 04 ක් මේ යටතේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ. ව්‍යාපෘතිය නිසා වෙළඳ සැල් අහිමිවන වෙළෙඳුන්ට මෙහි වෙළඳ සැල් 100 ක්ද ඉදිකිරීමට නියමිතය.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා පැවසුවේ ව්‍යාපෘතිය නිසා නිවාස අහිමි වූවන්ට ඔවුන්ගේ මුල් නිවසට සමාන ඉඩ ප්‍රමාණයක් සහිත නිවාස මෙම ව්‍යාපෘතියෙන් ලබාදෙන බවයි.

    මේ අනුව, වර්ග අඩි 200 ත් 400 ත් අතර නිවසක් තිබූ අයෙකුට මෙම ව්‍යාපෘතිය යටතේ වර්ග අඩි 400 ක නිවසක් හිමිවන අතර වර්ග අඩි 400 ත් 600 ත් අතර නිවසක් තිබූ අයෙකුට වර්ග අඩි 600 ක සිට 1200 ක් දක්වා නිවසක් හිමිවේ.

    මෙහිදී, අදහස් දැක්වූ TATA Housing සමාගමේ ප්‍රධානී බ්‍රොටින් බෙනර්ජී සඳහන් කළේ ව්‍යාපෘතිය පිළිබඳව නිවැසියන් සතුටට පත් නොවුනා නම් සමාගම මෙවැනි ව්‍යාපෘතියකට සම්බන්ධ නොවන බවයි.

    මෙම ව්‍යාපෘතිය සිදුකරන අවුරුදු දෙකහ මාරක කාලය තුළ ව්‍යාපෘතිය නිසා අවතැන් වූ පිරිසට කුලී පදනම මත නිවාස ලබාගැනීම සඳහා රජය විසින් මාසික දීමනාවක් ලබාදෙයි.