දෝෂයක් නිසා ටොයොටා කාර් ලක්ෂ 22 ක් කැඳවයි. ලංකාවටත් බලපායිද?

    June, 14, 2014

    ලොව සුප්‍රසිද්ධ ටොයොටා මෝටර් රථ සමාගමේ මෝටර් රථ ලක්ෂ 22 කට ආසන්න ගණනක වායු බෑගයේ (airbag) ඇතිවී තිබෙන දෝෂයක් නිසා එය නිවැරදි කිරීම සඳහා සමාගම වෙත නැවත කැඳවීමට තීරණය කර තිබෙන අතර සමාගම විසින් මෙම මෝටර් රථ ලෝකය පුරාම අලෙවිකර තිබෙන බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

    මෙම දෝෂය තිබූ මෝටර් රථ රැසක දෝෂය පසුගිය වසරේදී සමාගම විසින් නිවැරදි කර තිබුණත් සැපයුම් කරුවන් විසින් සපයා තිබූ අනුක්‍රමික අංකවල දෝෂයන් තිබෙන නිසා ඒවාද සමාගම වෙත කැඳවීමට සිදුවන බව සමාගම පවසා ඇත.

    සමාගම විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී වායු බෑගයේ දෝෂ නිවැරදි කළ මෝටර් රථ කාණ්ඩ වලට කොරොල්ලා, මැට්‍රික්ස් සහ ටුන්ඩ්‍රා යන 2003 සිට 2004 දක්වා නිෂ්පාදනය කර තිබූ වාහන මාදිලි ඇතුළත්ව තිබුණි.

    කෙසේවෙතත්, සමාගම විසින් හඳුනාගෙන තිබෙන්නේ ලෝකය පුරාම විකුණා තිබෙන මෝටර් රථ ලක්ෂ 22 කට ආසන්න ප්‍රමාණයක් මෙම දෝෂයට ලක්ව තිබෙන බවත් ඒවා නිවැරදි කිරීමට සමාගම සූදානම් බවයි.

    ටොයොටා සමාගම විසින් ලංකාවට විකුණා තිබෙන වාහන සම්බන්ධයෙන්ද මෙවැනි දෝෂ ඇතිවූ විට ඒවා ටොයොටා ලංකා සමාගමට ගෙන්වා ගනිමින් නිවැරදි කිරීම සාමාන්‍ය සිරිතයි.

    මීට පෙර, ටොයොටා Prius හයිබ්‍රීඩ් රථවල තාක්ෂණික දෝෂයක් නිසා සිදුකළ නැවත කැඳවීම ලංකාවටද බලපෑ අතර ලංකාවට විකුණා තිබූ එම මෝටර් රථවල වූ තාක්ෂණික දෝෂය ටොයොටා ලංකා සමාගම විසින් නිවැරදි කළේය.