Uber Eats මාස 12 කදී ආහාර ඇණවුම් ලක්ෂ 30 ක් බෙදා හරී

    October, 18, 2019

    Uber Eats සේවාව ශ‍්‍රී ලංකාව තුළ ආරම්භ කර වසරක් සම්පූර්ණ වී තිබේ. Uber Eats යනු ජංගම දුරකථන යෙදුමක් (App) භාවිතා කරමින් පාරිභෝගිකයන්ට ආහාරපාන ඇණවුම් කර ගෙන්වාගැනීමේ පහසුකම සලසන සේවාවකි. මේ වන විට එම සේවාව මෙරට තුළ ඇණවුම් මිලියන 3 කට අධික සංඛ්‍යාවක් සඳහා ආහාරපාන සපයා ඇති අතරල මෙම ක්ෂේත‍්‍රයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමටද සමත් වී සිටී.

    2018 වසරේ කොළඹ නගරයේදී Uber Eats ආරම්භ වූයේ ජනතාවට ඉතාමත් පහසුවෙන් ආහාරපාන අවශ්‍යතා සපුරාගැනීමේ මගක් පිරිනැමීමේ අරමුණිනි. ආරම්භයේදී Uber Eats app මගින් ආහාරපාන වර්ග 34 ක් අතරින් කැමති වර්ග තෝරාගැනීමේ අවස්ථාව සලසා දෙන ලදි. මාස 12 ක් වැනි කෙටි කාලයක් තුළ දිවයිනේ ප‍්‍රධාන නගර දෙකකදීම මෙම සේවාව දියත් කිරීමට හැකි විය.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ‍්‍රී ලංකාවේ Uber Eats ප‍්‍රධානී භාවනා දද්ලානි මහත්මිය මෙසේ පැවසුවා ය. ‘‘මේ ආකාරයට අතිසාර්ථක ගමනකින් අනතුරුව ප‍්‍රථම සංවත්සරය සැමරීමට ලැබීමට අපට විශාල සතුටක්. මෙය පාරිභෝගිකයන්ගේ එදිනෙදා ආහාරපාන අවශ්‍යතා සපුරාලන අතරම අපගේ හවුල්කරුවන්ගේ දියුණුවට අත්වැලක් වීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකියි. මේ ගමනේ අප සමග එක්වී සිටින ආපනශාලා, බෙදාහැරීම් සේවා හවුල්කරුවන් සහ පාරිභෝගිකයන් ඇතුළු සියලූම දෙනාට ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. ඉදිරියටත් ඔවුන්ගේ නොවෙනස් සහයෝගය අප වෙත ලැබෙනු ඇති බවට සැකයක් නැහැ.

    ‘‘සියලූම දෙනා එක්ව දියුණුව වෙත ගමන් කිරීම මෙන්ම කිසිදු භේදයකින් තොරව සියලූම දෙනාට ජීවනෝපාය මාර්ගයක යෙදීමේ අවස්ථාව සලසා දීම ඉතාමත් වැදගත් බව Uber Eats හි විශ්වාසයයි. මේ වනවිට කාන්තාවන් ඇතුළුව සමාජයේ විවිධ අභියෝග වලට ලක්වී සිටින කාණ්ඩ වලට අයත් පුද්ගලයන් ව්‍යවසායකයන් ලෙස ඉදිරියට යාම සඳහා අප සමග එක්වී සිටීම අපට ආඩම්බරයක්. මේ සැමගේ උත්සාහය, පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් අන්තර්ජාලය හරහා ඇණවුම් ලබාදීමට පෙළඹීම, අන්තර්ජාල සම්බන්ධතාවන්ගේ වේගය ඉහළ යාම සහ ජංගම දුරකථන භාවිතය වර්ධනය වීම වැනි හේතුසාධක නිසා ඉදිරියේදී තවතවත් ශ‍්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදුකිරීමට Uber Eats බලාපොරොත්තු වෙනවා.” භාවනා දද්ලානි මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

    පසුගිය වර්ෂයේ ඇණවුම් වල දත්ත පරීක්ෂා කරන විට, එම කාලය තුළ Uber Eats වෙත ලැබුණු ඇණවුම් අතරින් විශාලතම ඇණවුමෙහි වටිනාකම රු. 51,000/- කි. එමෙන්ම එක් Uber Eats ධාවකයෙකු ඇණවුම් 4,900 ක් පමණ සපුරා තිබේ. එක් පාරිභෝගිකයෙකු ලබාදුන් වැඩිම ඇණවුම් ප‍්‍රමාණය ඇණවුම් 700 කට වැඩි සංඛ්‍යාවක් ලෙස සටහන් වන අතර, එක් පාරිභෝගිකයෙකු සාමාන්‍යයෙන් ඇණවුම් 2 ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ලබාදී ඇත. මේ ආකාරයට ඇණවුම් කරන ලද ආහාරපාන විනාඩි 30 ක් ඇතුළත පාරිභෝගිකයන් වෙත ලැබී තිබේ.

    වසරක කාලයක් ඇතුළත අතිවිශිෂ්ට සාර්ථකත්වයක් වාර්තා කරමින් Uber Eats ශ‍්‍රී ලංකාව තුළ දිගු ගමනකට සූදානම් වී සිටී. නවීන තාක්ෂණය සමගින් වෙනස් වන ආහාරපාන බෙදාහැරීම් කර්මාන්තයේ ප‍්‍රමුඛයා ලෙස තම ස්ථානය තව තවත් තහවුරු කරගැනීම Uber Eats හි ඉලක්කය වේ.