UL 166 දරණ ගුවන් යානයේ ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලයේ වෘත්තීය දක්ෂතාවයෙන් ගුවන් මගීන් ආරක්ෂිතව දිවයිනට

    July, 31, 2017

    ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් UL 166 දරණ ගුවන් යානයෙන් ඊයේ (ජූලි මස 30 වැනිදා ) කොචින් සිට කොළඹ දක්වා ගමන් කිරීමේ දී ඇතිවූ හදිසි අනතුරුදායක තත්වයකින් ආරක්ෂා වීමට ගුවන් කාර්ය මණ්ඩලයේ වෘත්තීය දක්ෂතාවය මත ගුවන් සමාගමට හැකිවිය. එම ගුවන් යානයේ ගමන් ගත් ගුවන් මගියෙකු විසින් රැගෙන ගිය ගමන් මලු බෑගයක තිබූ ලිතියම් බැටරි කිහිපයක් දැවීයාම හෝ ජංගම දුරකථන හේතුවෙන් මෙම අනතුරුදායක අවස්ථාවට ගුවන් කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුවිය.

    ගුවන් මගීන් 202 ක් ඇතුළු ගුවන් මැදිරි කාර්ය මණ්ඩලය සමග ගුවන් ගත වූ මෙම A330-200 ගුවන් යානාවේ ගමන් ගත් කිසිවෙකු කිසිදු උපද්‍රවයකින් තොරව ආරක්ෂිතව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටපළ (BIA) වෙත නියමිත වේලාවට ගොඩබැස්සවීමට ගුවන් සමාගම කටයුතු කර ඇත. ගුවන් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සාර්ථකව මුහුණ දුන් ආකාරය පැසසුමට ලක්කරමින් ගුවන් මගීන් අත්පොලසන් දී තම සතුට ප්‍රකාශ කරනු ලැබීය

    ගුවන් ගමන ආරම්භ කර මිනිත්තු 70 කාලයකට පසු ආහාර පාන සේවාව ද අවසාන වීමෙන් ගුවන් කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් ගමන් මලු බහාලන කැබින් තුළ දුමක් නගින බව දැක එය වහාම ගුවන් මැදිරි කළමනාකරු සහ ගුවන් නියමු කපිතාන් වෙත දැනුම් දීමට කටයුතු කර ඇත. මේ අවස්ථාවේ දි ගුවන් මැදිරි කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ගිනි නිවන උපකරණ හරහා දුම නිවීමට කටයුතු කළ අතර පසුව එම බෑගය ගුවන් මැදිරි සේවා ස්ථානය වෙත රැගෙන ඒමට කටයතු කර ඇත. ලිතියම් නිසා ඇති වූ ගින්දරක් බවට අනුමාන කරමින් කාර්ය මණ්ඩලය විසින් ලිතියම් ගිනි නිවන ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් බෑගය වතුර භාජනයක බහාලීමටත් පසුව කටයුතු කරනු ලැබීය. මෙම ක්‍රියාමාර්ගය මත බෑගයෙන් පිටවන දුම සම්පූර්ණයෙන් පාලනය වූ අතර එය විවෘත කිරීමේ දී ලිතියම් බැටරි කිහිපයක් සහ ජංගම දුරකථන 2ක් කාර්ය මණ්ඩලයට හමුවී ඇත.

    මේ අනුව ගුවන් මැදිරි කාර්ය මණ්ඩලය විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිටින ගුවන් ගමන් පාලකවරුන් වෙත මේ පිළිබඳව වහාම දැනුම් දිමට කටයුතු කළ අතර ගුවන් යානාව සාමාන්‍ය පරිදි ගොඩබැස්සවීමට සලස්වමින් ගුවන් මගීන් ද ගුවන් යානාවෙන් සමාන්‍ය පරිදි පිටවීමට කටයතු යොදනු ලැබීය. ගුවන් යානය ගොඩබැස්සවීමෙන් පසු අනතුරුදායක භාණ්ඩ පිළිබඳ විශේෂඥයන්, ගිනි නිවන බටයන් ඇතුළුව ආරක්ෂක කණ්ඩායම් ගුවන් යානය වෙත කැඳවීමෙන් අනතුරුව මෙම තත්වය සාර්ථකව පාලනය කිරීමට ගුවන් කාර්යමණ්ඩලයට හැකිවීම සැමගේ පැසසුමට ලක්විය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බලධාරීන් වෙත බාර දී ඇත.

    ගුවන් මගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කොට සළකමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි ගුවන් මැදිරි කාර්ය මණ්ඩලය සඳහා ඕනෑම ආකාරයේ හදිසි තත්වයක් සඳහා එනම් ගුවනේ දී ඇතිවන ගිනි ගැනීමකදී වුවත් මුහුණ දීමට අවශ්‍ය පුළුල් පුහුණුවීම් ලබාදී ඇත. එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගම හදිසියේ එකවර ලිතියම් බැටරි දැවීයාම සම්බන්ධව ගෝලීය ආරක්ෂක ක්‍රමවේදයන් හා ක්‍රියාකාරී ලෙස කටයුතු කරනු ලබයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ගුවන් සමාගම “Samsung Note 7’ ජංගම දුරකථන සම්පූර්ණයෙන් ගුවනේ රැගෙන යාම තහනම් කිරිමට ද කටයුතු කර ඇත.

    ගුවන් සමාගම විසින් UL 166 දරණ ගුවන් යානයේ සේවයේ නිරතව සිටි ගුවන් මැදිරි කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පරීක්ෂාකාරී වීම,කාලෝචිත ලෙස ක්‍රියා කිරීම, පීඩන අවස්ථාවකදී වුවත් සන්සුන්ව මුහුණ දීම යනාදී නිවැරදි ක්‍රියාමාර්ග තුළින් මෙවැනි ප්‍රධාන අවදානම් තත්වයකින් ආරක්ෂා වීම සම්බන්ධව විශේෂ පැසසුමට ලක්කරනු ලැබීය.