UTE සහ HNB මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සවිබල ගැන්වීමට ඉදිරිපත් වෙයි

    April, 25, 2017

    වෙළඳපල තරගකාරීත්වය සහ බලශක්ති කාර්යක්ෂම යන්ත්‍රෝපකරණ සඳහා පවතින අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම සහ හැටන් නැෂනල් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා FS Curtis වායු සම්පීඩක යන්ත්‍ර මිලදී ගැනීමට පහසු ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම වෙනුවෙන් පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹියහ.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක්වන හැටන් නැෂනල් බැංකුව, එක්සත් රාජධානියේ බෑන්කර් සඟරාව විසින් 2012 සහ 2013 වසරවල වසරේ බැංකුව ලෙස නම් කරන ලදි. අඛණ්ඩව නවවන වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස පිදුම් ලද හැටන් නැෂනල් බැංකුව, ඒෂියන් බෑන්කර් සඟරාව විසින් මෙරට විශිෂ්ටත ම ක්ෂුද්‍ර මුල්‍ය ආයතනය ලෙස ද ඇගයුමට ලක් කරනු ලැබිණි. "සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට සවියක් වීම සඳහා UTE සමාගම සමග අප අත්වැල් බැඳ ගත්තේ, කාර්යක්ෂම නිෂ්පාදන ලබා දීම තුළ ඔවුන් හිමිකර ගෙන සිටින විශ්වසනීයත්වය සහ ඔවුන්ගේ අසමසම අලෙවියෙන් පසු සේවාව තුළින් අපගේ ගනුදෙනුකාර භවතුන්ට ද වඩාත් ඵලදායී සහ ලාභදායී ලෙස සිය ව්‍යාපාරික කටයුතු ඉටුකර ගැනීමට හැකිවන නිසයි. සමස්තයක් ලෙස එය දෙපාර්ශ්වයට ම ප්‍රතිඵලදායී විසඳුමක් වනවා" යනුවෙන් හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිල්ශාන් රොද්‍රිගෝ මහතා සඳහන් කළේය.

    මෙම අවබෝධතා ගිවිසුම යටතේ FS Curtis වායු සම්පීඩක යන්ත්‍ර මිලදී ගන්නා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් හට හැටන් නැෂනල් බැංකුවෙන් ආකර්ෂණීය මුල්‍ය පහසුකම් හිමි වේ. වසර පහක් තුළ තරගකාරී ස්ථිර පොළී අනුපාත යටතේ හෝ පාරිභෝගිකයාගේ ආදායම් මට්ටම අනුව පාවෙන පොළී අනුපාත යටතේ හෝ පහසු ගෙවීමේ ක්‍රමයට වායු සම්පීඩක යන්ත්‍ර ලබා ගැනීමට මෙමගින් පාරිභෝගිකයන් හට හැකි වේ. වඩාත් පහසු සේවාවක් ලබා දීම සඳහා අවම ලියකියවිලි සමගින් ලීසිං පහසුකම ලබා දීමට ද හැටන් නැෂනල් බැංකුව කටයුතු කරයි.

    සම්පීඩක යන්ත්‍ර සඳහාවන ලොව විශිෂ්ටත ම ඉංජිනේරු සැලසුම්වලින් යුතු වායු සම්පීඩක යන්ත්‍ර ලෙස FS Curtis මාදිලි පෙළ කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. එහි උපාංග කල් පැවැත්ම සහ කාර්යසාධනය තුළින් එය වෙළඳපලේ ඇති අනෙකුත් නිෂ්පාදන අතර කැපී පෙනෙයි. මෙම ගිවිසුමට අනුව, Air Dryer, Air Filter, Air Receiver, Piston Air Compressor, සහ Rotary Screw Compressor ඇතුළු FS Curtis නිෂ්පාදන රැසක් පහසු මාසික වාරික ක්‍රමයට ලබා ගැනීමට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ට අවස්ථාව උදා වේ.

    "සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම වෙනුවෙන් හැටන් නැෂනල් බැංකුව සමග අත්වැල් බැඳ ගැනීමට හැකි වීම අප ගෞරවයක් සේ සලකනවා. පරිපූර්ණ මුල්‍ය විසඳුම් තුළින් ව්‍යාපාරික අභියෝග ජය ගැනීමට මෙම අවබෝධතා ගිවිසුම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් හට අවස්ථාව උදාකර තිබෙනවා" යි UTE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රියාද් ඉස්මයිල් මහතා ප්‍රකාශ කළේය.

    FS Curtis මාදිලි පෙළෙහි ඇති විශේෂත්වය පිළිබඳ ජනතාව දැනුම්වත් කරමින් UTE සමාගම දිවයින පුරා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ඉලක්ක කර ගනිමින් මාර්ග සංදර්ශන රැසක් සංවිධානය කරයි. වායු සම්පීඩක යන්ත්‍ර වැඩි වශයෙන් යොදා ගැනෙන ගරාජ, ටයර් සාප්පු, වාහන සේවා ස්ථාන සහ කුඩා කර්මාන්තශාලා කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. වෙනත් UTE නිෂ්පාදන සඳහා ද විශේෂ මුල්‍ය පහසුකම් ලබා දීමට හැටන් නැෂනල් බැංකුව මෙම ගිවිසුම යටතේ කටයුතු කරයි.

    සේයා රූ සටහන : UTE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රියාද් ඉස්මයිල් මහතා සහ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිල්ශාන් රොද්‍රිගෝ මහතා අතර අවබෝධතා ගිවිසුම හුවමාරු කෙරුණු අවස්ථාව. UTE සහ හැටන් නැෂනල් බැංකුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද ඡායාරූපයේ වෙයි