WHO අරමුදල් කපාහැරීමේ තීරණය යළි සලකා බලන්නැයි රනිල්, ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

    April, 16, 2020

    ඇමරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නගා ඇති චෝදනා පිළිබඳව තමන් දැඩි අවධානය යොමු කළ බවත්, ඒවා නිසැකවම විමර්ශනයට ලක්කළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවමින් එක්සත් ජාතික පක්ෂ නායකයා මෙහිදී වැඩිදුරටත් පවසන්නේ, කෝවිඩ් 19 වසංගතය විසින් ඇතිකර ඇති දරුණු බලපෑම සැලකිල්ලට ගනිමින් එක්සත් ජනපද අරමුදල් ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙර පරිදි නැවත ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බවයි.

    අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

     

    ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති,
    අතිගරු ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමණි,

    ඇමරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහිව නගා ඇති චෝදනා පිළිබඳව මම දැඩි අවධානය යොමු කළෙමි. ඒවා බරපතල වන අතර නිසැකවම විමර්ශනයට ලක්කළ යුතුය.

    කෙසේ වෙතත්, මෙම කොවිඩ් 19 ගෝලීය වසංගතය පෙර නොවූ විරූ අයුරින් සෑම රටකම දේශීය ආර්ථිකයට හා සිවිල් ජීවිතයට බලපා ඇත. එම නිසා ඉදිරි මාසවලදී ජාත්‍යන්තර සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ ගැටළු සඳහා ගෝලීය නායකත්වය සැපයීමට වෙනත් බහුපාර්ශවීය ආයතනයක් නොමැති වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අවස්ථාවේදී සිය ක්‍රියාකාරී වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.

    ඇමරිකානු බදු ගෙවන්නන් සෑම වසරකම ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකානු ඩොලර් මිලියන 400 ත් 500 ත් අතර අරමුදල් සපයන බව මට වැටහේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට සියළුම අරමුදල් අත්හිටුවීමට අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරමුදල් සපයනු ලබන ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් කෙරෙහි එය දැවැන්ත හා අහිතකර ලෙස බලපෑමක් ඇති කරනු ඇත.

    කෝවිඩ් 19 වසංගතය විසින් ඇතිකර ඇති දරුණු බලපෑම සැලකිල්ලට ගනිමින්, ඔබ ගත් තීරණය නැවත සලකා බලා එක්සත් ජනපද අරමුදල් ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙර පරිදි ලබාදෙන ලෙසත්, යම් වරදක් සිදුවී ඇත්නම් ඒවා විමර්ශනය කොට, පසුව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මම ඉල්ලා සිටිමි.

    මාගේ ඉහළම සැලකිල්ල පිළිබඳ සහතිකය, අලුත් කර ගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට මම කැමැත්තෙමි.

    රනිල් වික්‍රමසිංහ
    එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය