Withholding, Paye tax අහෝසියි – ගෝඨාගේ බදු ප්‍රතිපත්තිය මෙන්න

    October, 25, 2019

    තම රජය යටතේ රටට නොගැළපෙන වත්මන් ආදායම් බදු පනත වෙනස් කොට ජනතාව මත බදු බර අඩු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (25) දින කොළඹ දී පැවති සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය “ගෝඨාභය - රට හදන සෞභාග්‍යයේ දැක්ම“ එළි දැක්වීමේ උත්සව අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාපපක්ෂ මහතා පැවසුවේ, තම රජය යටතේ ආර්ථික සේවා ගාස්තු, රඳවා ගැනීමේ බදු (Withholding tax) සහ වැටුප් මත පනවා ඇති උපයන විට බද්ද (Paye tax) අහෝසි කරනු ගබන බවයි. එසේම වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරනු ලබන බව ද හෙතෙම අවධාරණය කළේය.

    මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    කඩා වැටී තිබෙන මේ ආර්ථිකය යළි ගොඩනැගීමේ දී විශාලම කාර්යභාරයක් අපේක්ෂා කෙරෙන්නේ දේශීය ව්‍යාපාරික ප්‍රජාව. අපි මේ ව්‍යාපාරයන්ට ව්‍යාපාර කරන්නට පහසු පරිසරයක් නිර්මාණය කරන්නට අවශ්‍යයි.

    ව්‍යාපාර කරගෙන යෑමට හිරිහැරයක් වී තියෙන කල් පැන ගිය නීතිරීති යාවත්කාලීන කරනවා. අද ජනතාව ඉන්නේ අධික බදු බරකින් මිරිකිලා. මෙය ව්‍යාපාරවලත් ජනතාවගේත් ඵලදායීතාවට බලපානවා.

    ඒ නිසා අපි රටට නොගැළපෙන වර්තමාන ආදායම් බදු පනත වෙනස් කොට ජනතාව මත බදු බර අඩු කරන්නට බලාපොරොත්තු වෙනවා.

    නිෂ්පාදන කර්මාන්ත සඳහා අය කරන ආදායම් බදු අඩු කරනවා. ආර්ථික සේවා ගාස්තු හා රඳවා ගැනීමේ බදු අහෝසි කරනවා. වැට් බද්ද සියයට 8 දක්වා අපි අඩු කරනවා.

    ආගමික ස්ථාන මත පනවා ඇති විවිධ බදු අපි අහෝසි කරනවා.

    වාහන සම්බන්ධයෙන් පනවා ඇති විවිධ බදු වෙනුවට එක් සරල බදු ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා.

    මීට අමතරව රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් මත පනවා ඇති උපයන විට බද්ද, Paye tax අපි අහෝසි කරනවා.

    මේ සමඟ අපි ආදායම් බදු දෙපාර්තමේන්තුව තුළ, රේගුව තුළ හා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ තාක්ෂණය භාවිතාව විධිමත් කොට විසඳුම් සපයන්නට අපි ක්‍රියා කරනවා.

    අපේ අනාගත සංවර්ධන සැලසුම් තුළ සේවා ආර්ථිකයේ විශාල වර්ධනයක් අපි බලාපොරාත්තු වෙනවා.