
පර්යේෂණ, යෝජිත අරමුණු අටක් සහ ජාතික සන්ධානයක් මඟින් තරුණ ප්‍රමුඛතා පිළිබඳ අවධානය යොමු කරයි
Global Unites සංවිධානය විසින් සංවිධානය කරන ලද ‘ජාතික තරුණ අනාගත සංසදය’ (National Youth Futures) පසුගියදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි. තරුණ සංවර්ධනය සහ ජාතික එකමුතුභාවය සඳහා වූ හවුල් න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙනයාම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් සහ නියෝජිතයන් පිරිසක් එක්රැස් කිරීම මෙම සංසදයේ ප්‍රධාන අරමුණ විය.
මෙම සංසදයේදී ජාතික තරුණ පර්යේෂණ සහ ප්‍රතිපත්ති නිර්දේශ ඉදිරිපත් කිරීම, යෝජිත ඉලක්ක අටක් හඳුන්වා දීම මෙන්ම තරුණ සංවර්ධනය සහ ජාතික එකමුතුභාවය සඳහා වන ජාතික සන්ධානය නිල වශයෙන් දියත් කිරීම ද සිදු විය.
මෙම වැඩපිළිවෙළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පුද්ගලයන් 2,500කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකළ සමීක්ෂණයක් මත පදනම් වී ඇත. මීට අමතරව පළාත් නවය පුරා පැවැත්වූ උපදෙස් ලබාගැනීමේ සාකච්ඡා වට 22ක් සහ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පැවැත්වූ තරුණ කථික තරඟාවලියක් ද මීට දායක කරගෙන තිබේ. මෙම සියලු උත්සාහයන් මඟින් තරුණ තරුණියන්ගේ අත්දැකීම්, ගැටලු සහ අපේක්ෂාවන් වටහා ගැනීමටත්, ඔවුන්ගේ අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි යෝජනා බවට පත් කිරීමටත් කටයුතු කර ඇත.
මෙම පර්යේෂණ සහ සාකච්ඡා මඟින් තරුණ තරුණියන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු රැසක් පිළිබඳව සොයා බලා ඇත. අධ්‍යාපනය සහ රැකියා අවස්ථා, මූල්‍යමය පීඩනයන් සහ ආර්ථික දුෂ්කරතා, මානසික සුවතාවය, වෙනස්කොට සැලකීම්, විවිධ ජාතීන් හා ප්‍රජාවන් අතර පවතින අන්තර් සබඳතා, තරුණයන්ගේ ජීවිතවලට බලපාන තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා ඔවුන්ගේ දායකත්වය සහ සහභාගීත්වය යන කරුණු පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හි නිර්මාතෘ හා සභාපති ප්‍රශාන් ඩි විසර් (Prashan De Visser) මහතා “ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ තරුණියන්ට අලුත් අදහස්, හැකියාවන් මෙන්ම රට වෙනුවෙන් දායක වීමේ දැඩි අවශ්‍යතාවයක් සහ කැමැත්තක් පවතිකවා. අප කළ යුත්තේ ඔවුන්ගේ හඬට සවන් දී, ඔවුන්ට සේවය කිරීමට සහ නායකත්වය ලබා දීමට අවශ්‍ය අවස්ථා නිර්මාණය කිරීම සඳහා ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමයි, අප ඔවුන්ගෙන් ඇසූ දේ පොදු කැපවීමක් බවට පත් කරගැනීම සඳහා කරන ආරාධනාවක් ලෙස මෙම සංසදය සඳහන් කළ හැකියි. එනම්, අපේ රට ආපස්සට ඇද දැමූ බෙදීම් මඟහරවා ගනිමින් අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැඟීම සහ තරුණ ජීවිත වඩාත් යහපත් කිරීමයි.” යනුවෙන් පැවසීය.
යෝජිත රාමුව මඟින් එකිනෙකට සම්බන්ධ වූ ඉලක්ක අටක් ඉදිරිපත් කරයි:
1. ඉගෙනීමට සමාන අවස්ථා
2. සෑම තරුණයෙකුටම ආර්ථික ගරුත්වය
3. මානසික සෞඛ්‍යය සහ සුවතාවය
4. වෙනස්කොට සැලකීමෙන් තොර සමාන පුරවැසිභාවය
5. විවිධ ජාතීන් හා ප්‍රජාවන් අතර සබඳතා
6. අර්ථවත් තරුණ හඬක්
7. සත්‍යවාදී සහ සාමකාමී පොදු ජීවිතයක්
8. සංහිඳියාව, සේවය සහ හවුල් අනාගතයක්
ඉදිරි වසර පහ තුළ සිදුකරන ඒකාබද්ධ කටයුතු සඳහා මඟපෙන්වීමට මෙම සංසදය තුලින් අපේක්ෂා කෙරේ. මෙම ජාතික සන්ධානය හරහා, සහභාගී වන සංවිධාන වෙත හවුල් උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමටත්, මැනිය හැකි ප්‍රමුඛතා හඳුනා ගැනීමටත් ආරාධනා කරයි. එමෙන්ම පර්යේෂණ, බිම් මට්ටමේ වැඩසටහන්, උපදේශකත්වය, කුසලතා සංවර්ධනය සහ ප්‍රතිපත්තිමය මැදිහත් වීම් හරහා ඒ සඳහා දායක වීමට ද ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.
අයදුම්කරුවන් 800 දෙනෙකුගෙන් තෝරාගත් තරුණ තරුණියන් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු ‘මගේ ශ්‍රී ලංකා නායකත්ව සමුළුවේ අවසන් දිනයේදී මෙම සමුලුව පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුව මඟින් සහභාගී වන තරුණ පිරිස් වෙත ජාතික, ආගමික සහ වාර්ගික බෙදීම්වලින් තොරව අන්‍යෝන්‍ය සබඳතා ගොඩනඟා ගැනීමටත්, තම රට වෙනුවෙන් ප්‍රායෝගිකව කැපවීමටත් මඟ පෙන්වනු ඇත.
මෙම සංසදයේ වැඩසටහන මඟින් සාමය, සංහිඳියාව සහ ජාතික එකමුතුභාවය වෙනුවෙන් දක්වන ලද දායකත්වයන් ඇගයීමට ලක් කරන අතර, ඉදිරි කටයුතු සඳහා තරුණ තරුණියන්ට, උපදේශකයන්ට සහ ආයතනවලට සහභාගී විය හැකි අවස්ථා ද හඳුන්වා දීමට නියමිතය.
























