ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල හා ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය

July, 11, 2019

මුදල් අමාත්‍යාංශය විසින් මාස්පතා ක්‍රියාවට නංවනු ලබන ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යයම රාත්‍රියේ සිට ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය විසින් තීරණය කරනු ලැබූ බව ප්‍රකාශයට පත්විය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 2 කින් සහ ඔක්ටේන් 35 පෙට්‍රල් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 5 බැගින් පහත හෙළනු ලැබීය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

තෙල් මිල සූත්‍රය ප්‍රථම වතාවට අමාත්‍ය මණ්ඩලය විසින් 2018 මැයි මස හඳුන්වා දුන් අවස්ථාවේදී සෑම මාස දෙකකට පසුව එළඹෙන පස්වන දින මිල සංශෝධනය කිරීමට තීරණය කරන ලදී.

එහෙත්, ලෝක වෙළෙඳපොලේ ඉන්ධන නිරතුරුව මිල උච්ඡාවචනය වන භාණ්ඩයක් බැවින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් සතියකට වරක් මිල සංශෝධනය කිරීමට යෝජනා වුවද එහි ඇති ප්‍රායෝගික ගැටලු සැළකිල්ලට ගෙන ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉන්ධන මිල පදනම් කර ගනිමින් මසකට වරක් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය විසින් තීරණය කරන ලදී.

ජාත්‍යන්තර තෙල් මිල අඩුවීම දිගින් දිගටම පැවැතිය හොත් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බවට ජූනි මාසයේ තෙල් මිල සංශෝධනය කළ අවස්ථාවේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ප්‍රකාශ කර තිබුණි.

ජූනි මස මිල සංශෝධනය කළ අවස්ථාවේ ඇ.ඩො. 74ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද වන විට ඇ.ඩො. 65 දක්වා අඩු වී ඇති බැවින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පොරොන්දු වූ පරිදි අද (10) දින සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල මෙසේ අඩුකිරීමට මිල සූත්‍ර කමිටුව විසින් තීරණය කර ඇත.

මිල සූත්‍රය හඳුන්වාදීමෙන් පසු අවස්ථා කිහිපයක දී ඉන්ධන මිල ඉහළ පහළ ගිය ද තව දුරටත් දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල පවතින්නේ මෙම රජය බලයට පත් වූ අවස්ථාවේ පැවැති ඉන්ධන මිලට වඩා පහළ මට්ටමකය. 2015 ජනවාරි මස 01 වැනි දා වන විට රුපියල් 150කට අලෙවි කෙරුණු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක අද මිල රුපියල් 136කි. රුපියල් 111කට අලෙවි කෙරුණු ඔටෝ ඩීසල් ලීටරයක වත්මන් මිල වන්නේ රුපියල් 104කි.

කෙසේ වෙතත් මෙහි ඇති උභතෝකෝටිකය නම් ජූනි මස මිල සංශෝධනය කළ අවස්ථාවේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74 ක් ලෙසින් සටහන්ව තිබීමයි. නමුත් සත්‍ය වශයෙන්ම 2019 ජූනි 10 දින වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 63.37 ක් ලෙසින් වීමයි. අවසාන වරට බොරතෙල් බැරලයක මිල ඩොලර් 74 සීමාව ඉක්මවා සටහන් වූයේ පසුගිය අප්‍රේල් 22 දිනයේ දීය.

මේ අතර අද (11) දින ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියේ 2019 මැයි 23 දායින් පසු, එනම් පසුගිය සති 7 ක කාලපරිච්ඡේදය තුළ ඉහළම අගයයට මේ වන විට බොරතෙල් මිල පැමිණ ඇති බවයි.

Oil Hits Seven-Week High on Falling Supplies

Crude Oil Price Soars to 7-Week High on Fed & Supply Shock

තත්ත්වය එසේ තිබිය දී, බොරතෙල් බැරලයක මිල ඩොලර් 74 සිට ඩොලර් 65 ට අඩුවී ඇතැයි පැවසීම දෝෂ සහගත තත්ත්වයකි. අනෙක් අතට එය එසේ වූවා නම් එය 12% ක් ඉක්මවූ මිල පහළයාමකි. එසේ නම් ඊට සමගාමීව මිල සූත්‍ර ප්‍රකාරව ඉන්ධන මිල පහළ යා යුත්තේ රු. 2 කින් හෝ රු. 5 කින් හෝ නොව, රු. 13කට වඩා වැඩි අගයකිනි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 9 කින් අඩු වෙද්දී අපේ රටේ පෙට්රල් මිල අඩු වන්නේ රුපියල් 2 කින් වීම හා ඩීසල් මිල අඩු නොවීම පුදුම සහගත බවයි. එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

 

වරක් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම මිල සූත්‍ර ක්‍රමවේදය අනුව, ඉදිරි ඉන්ධන මිල ගණන් පුරෝකථනය කිරීමේ හැකියාව ජනතාවට ලබෙන බවයි. නමුත් එය එයාකාරයෙන් සිදුවී නොමැති බව මේ වන විට තහවුරු වී තිබේ. තත්ත්වය මෙසේ නම් මිල සූත්‍රයේ විශ්වාසනීයත්වය පිළිබඳ ඇතිවන්නේ ගැටළුකාරීත්වයකි. එය බොහෝ විට මිල සූත්‍රය ගණනය කිරීමට යොදා ගන්නා සංරචකයන්ගෙන් ඔබ්බට ගොස් හුදෙක් දේශපාලනික හෝ වෙනත් අරමුණු වෙනුවෙන් මෙරට ඉන්ධන මිල ගණන් තීරණය වනු ඇතැයි යන සිතිවිල්ල මහජනතාවගේ මනස තුළ පැළපදියම් වීමට පාර කැපීමක් වනු ඇත.