ශ්‍රී ලංකාව රු. මිලියන 163කින් සෝමාලියාවට පිහිටවෙයි

    February, 13, 2020

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අපහසුතා බෙදා ගැනීමේ ක්‍රමවේදය (Burden Sharing Mechanism) එහි විධායක මණ්ඩලය මඟින් 1986 දී අනුමත කරන ලද ප්‍රතිපත්තියක් වන අතර, විවිධ හේතුන් මත සාමාජිකයින් විසින් ගාස්තු නොගෙවීම නිසා අරමුදලට අහිමි වන ආදායම ප්‍රතිපූරණය කිරීම පිණිස මෙම ක්‍රමවේදය සකස් කරනු ලැබ ඇත.
    ඒ අනුව, අරමුදලෙහි විධායක සභාව විසින් 2019 දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද සෝමාලියාවේ හිඟ මුදල් පියවීමේ සහ ණය සහන පැකේජය සඳහා සාමාජික රටවල අභ්‍යන්තර සම්පත් සම්පූර්ණ වශයෙන් හෝ කොටසක් දායක කරන මෙන් අරමුදල විසින් සාමාජික රටවලින් ඉල්ලීමක් කරනු ලැබ ඇත.
    ඒ සඳහා වන ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් එකඟතාව පළ කර ඇත.
    ඒ අනුව, රුපියල් මිලියන 163 කට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ සමස්ත දායකත්වය ලෙස සෝමාලියා පාලිත ගිණුම වෙත මාරු කිරීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.