October, 8, 2026
මොන්ටානා ආණ්ඩුකාර ග්‍රෙග් ජියන්ෆෝර්ටේ මහතා, ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මහත්මිය සහ මොන්ටානා ප්‍රාන්ත නියෝජිත පිරිසක් සමඟ ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේදී ඇමරිකානු කෘෂිකාර්මික අපනයන සඳහා නව අවස්ථා පුළුල් කිරීම සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන හරහා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරේ.
එක්සත් ජනපදයේ වයඹදිග ප්‍රදේශයේ පිහිටි මොන්ටානා ප්‍රාන්තය, විශාල විවෘත භූමි ප්‍රදේශ, සාරවත් කෘෂිකාර්මික ඉඩම් සහ රොකී කඳු ශිඛර සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. මොන්ටානා යනු කඩල, පරිප්පු සහ වියළි කඩල වැනි රනිල භෝග නිෂ්පාදනය අතින් එක්සත් ජනපදයේ ප්‍රමුඛස්ථානය ගන්නා ප්‍රාන්තයයි. මොන්ටානාහි වගා කරන රනිල භෝග සඳහා නව වෙළඳපොළ අවස්ථා සොයා බැලීමටත්, ඇමරිකානු ගොවීන් සඳහා නව අවස්ථා පුළුල් කිරීමටත්, ශ්‍රී ලාංකික ව්‍යාපාර සමඟ වාණිජ සබඳතා ශක්තිමත් කිරීම සඳහාත් නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රනිල භෝග ආනයනකරුවන් සහ වෙළෙඳ ව්‍යාපාරිකයන් හමුවීමට සැලසුම් කරයි.
“මොන්ටානාහි ගොවිබිම්වල සිට ශ්‍රී ලංකාවේ ඉන්දියානු සාගර වෙරළ තීරය දක්වා විහිදෙන මෙම හවුල්කාරිත්වය, ආර්ථික අවස්ථා සහ පොදු ආරක්ෂක අරමුණු එකට සම්බන්ධ කරයි,” යනුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් යර් මහතා පැවසීය. “ඇමරිකානු ගොවීන් සඳහා නව අවස්ථා නිර්මාණය කරමින් සහ අප දෙරටටම ප්‍රතිලාභ සැලසෙන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් පැමිණෙන ජියන්ෆෝර්ටේ ආණ්ඩුකාරතුමා, ඔහුගේ බිරිඳ වන සුසන් ජියන්ෆෝර්ටේ මැතිණිය සහ මොන්ටානා නියෝජිත පිරිස පිළිගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු.”
2021 වසරේ සිට මොන්ටානා සහ ශ්‍රී ලංකාව අතර පවත්වාගෙන යන රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (State Partnership Program) හරහා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, මොන්ටානාහි ඇජුටන්ට් ජනරාල් සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් ජෙන්ටන් ගිබ්සන් ද ආණ්ඩුකාරවරයාගේ නියෝජිත පිරිස සමඟ මෙම සංචාරයට සහභාගී වනු ඇත. 2025 වසරේදී, ආපදා ප්‍රතිචාර දැක්වීම, සමුද්‍රීය ක්ෂේත්‍රය පිළිබඳ දැනුවත්භාවය සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව විධිමත් කර පුළුල් කිරීම සඳහා මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූහ.
මෙම හවුල්කාරිත්වය මගින් මොන්ටානා සහ ශ්‍රී ලංකාව අතර කල්පවත්නා සබඳතා ගොඩනගන අතර, ආපදා සඳහා සූදානම් වීමේ හැකියාව, සමුද්‍රීය ආරක්ෂාව සහ හමුදා සාමාජිකයින්ගේ වෘත්තීය කුසලතා ද ශක්තිමත් කෙරේ. ආණ්ඩුකාරවරයාගේ මෙම සංචාරය එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන අතර, කෘෂිකාර්මික වෙළඳාම සඳහා නව අවස්ථා උදා කර දෙනු ඇත.
Video Story