අගලවත්තේ අයිතිය වෙනත් අතකට

    March, 27, 2017

    අගලවත්ත වැවිලි සමාගමේ බහුතර කොටස් හිමකාරීත්වය දැරූ බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම සිය කොටස් අයිතිය අද (27) දිනයේ දී සම්පූර්ණයෙන්ම විකුණා දැමීය.

    මෙහිදී බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් සතුව පැවති කොටස් 15,274,527 ක් රු. 18.00 බැගින් අලෙවි කෙරුණු අතර මෙම ගනුදෙනුවේ මුළු වටිනාකම රුපියල් මිලියන 274.9 ක් විය. D.R. Investments (පුද්) සමාගම විසින් මෙම කොටස් මිල දී ගෙන ඇත.

    බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් විසින් මැක්වුඩ්ස් වැවිලි සමාගම සතුව පැවති අගලවත්ත වැවිලි සමාගමේ කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගනු ලැබූයේ පසුගිය 2016 වසරේ ජූලි 14 වෙනිදාය. එහිදී කොටස් මිලියන 15.2 ක් මිලදී ගැනීම සඳහා රු. 20.00 බැගින් මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 304 ක මුදලක් බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් විසින් වැයකර තිබුණි.

    බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් යනු බ්‍රවුන්ස් කැපිටල් පීල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමකි.

    මේ අතර FLMC වැවිලි (පුද්) සමාගමේ තමන්ට අයත් කොටස් මිලියන 4.51 ක් විකුණා දැමූ බව බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී අද නිවේදනය කරන ලදී. ඒ රුපියල් බිලියන 4.69 ක මුදලකටය.

    එහිදී D.R. Furniture Manufacturing (Pvt) Ltd හා D.R. Manufacturing Co, (Pvt) Ltd කොටස් 960,689 බැගින් මිල දී ගෙන තිබුණු අතර රුපියල් බිලියන 1 බැගින් අදාළ සමාගම් ඒ වෙනුවෙන් ආයෝජනය කර තිබුණි. මීට අමතරව Piyestra Furniture (Pvt) Ltd විසින් කොටස් 2,588,622 ක් මිල දී ගෙන ඇති අතර ඒ වෙනුවෙන් ආයෝජිත මුදල රුපියල් 2,694,547,981.00 කි.