අත්‍යාවශ්‍ය ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීමෙන් විය හැකි අහිතකර ප්‍රතිවිපාක ගැන මහ බැංකුව මෙසේ කියයි

    November, 1, 2018

    අත්‍යාවශ්‍ය ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීම, දේශීය හා විදේශීය අහිතකර බලපෑම සඳහා ආර්ථිකය වැඩි වශයෙන් නිරාවරණය වීම තුළින් ශ්‍රී ලංකාව කලාපීය රටවල් අතර තවදුරටත් පසුගාමී ආර්ථිකයක් බවට පත් වීමට පමණක් හේතු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සිය අර්ධ වාර්ෂික ප්‍රකාශනය වන “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2018 සුවිශේෂ සිදුවීම් සහ 2019 අපේක්ෂාවන්” ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ කියා සිටී.

    එම ප්‍රකාශනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

    “අඩු ආර්ථික ක්‍රියාකාරීත්වයක් මධ්‍යයේ, මුදල්, රාජ්‍ය මූල්‍ය සහ විදේශීය අංශවල පවතින ප්‍රතිපත්ති අවකාශය සීමා වීම හමුවේ ආර්ථිකයේ සමස්ත ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා උපකාරී වන විචක්ෂණශීලී, ස්ථාවර සහ දූරදර්ශී ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග සමඟ පෞද්ගලික අංශය මුල්කොට ගත ආර්ථික වර්ධනයක් සඳහා පහසුකම් සැලසීම අවශ්‍ය වේ.“

    “රටේ සාර්ව ආර්ථික මූලධර්ම වැඩිදියුණු කරමින්, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම් මගින් නැවතත් අවධාරණය කර ඇත.“

    “අත්‍යාවශ්‍ය ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීම, දේශීය හා විදේශීය අහිතකර බලපෑම සඳහා ආර්ථිකය වැඩි වශයෙන් නිරාවරණය වීම තුළින් ශ්‍රී ලංකාව කලාපීය රටවල් අතර තවදුරටත් පසුගාමී ආර්ථිකයක් බවට පත් වීමට පමණක් හේතු වේ.“

    “එම නිසා, වඩා ඵලදායී ලෙස මානව හා භෞතික සම්පත් පූර්ණ වශයෙන් උපයෝජනය වන ඉහළ මැදි ආදායම් ආර්ථිකයක් දක්වා ශ්‍රී ලංකාවට ඉදිරියට යෑම සඳහා, එවැනි ප්‍රතිසංස්කරණ විනිවිදභාවයකින් යුතු රාමුවක් යටතේ කඩිනමින් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වේ.“