අද, හෙට, අනිද්දා කොටස් වෙළෙඳපොළ වැසෙයි

    March, 25, 2020

    ඉතිහාසයේ පළමු වරට සතියක් පුරාවට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොවේ.

    කොළඹ, ගම්පහ සහ පුත්තලම යන් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දීර්ඝ කිරීම හේතුවෙන් 2020 මාර්තු 25, 26 සහ 27 දින කොළඹ කොටස් වෙළෙඳපොළ වසා තැබීමට තීරණය කර ඇත.

    කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන විසින්, කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත මේ දැනුම් දෙමින් මාර්තු 25 සිට 27 දක්වා කොටස් වෙළෙඳපොළ නිවාඩු දින වශයෙන් නම් කර ඇති බව නිවේදනය කර සිටී.

    මෙම සතියේ සඳුදා (23) සහ අඟහරුවාදා (24) දිනයන් ද කොටස් වෙළඳපොළ, ගනුදෙනු සඳහා විවෘත කෙරුණේ නැත. මේ අනුව සතියක් පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොවන්නේ ඉතිහාසයේ පළමු වරටයි.

    අවසාන වරට පසුගිය මාර්තු 20 දින පැය 2 ක කාලයකට පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළ විවෘත කෙරෙනු අතර, එයින් ද මිනිත්තු 30 ක කාලයක් මිල දර්ශක පහළ යාම විශාල වූ හෙයින් දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබුණි.