අනාගතයට අත්‍යවශ්‍ය ම වන උපාධි පිරිනැමීම උසස් අධ්‍යාපන ආයතන සතු වගකීමයි – වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ සභාපති අවධාරණය කරයි

    June, 13, 2019

    ලොව පුරා උසස් අධ්‍යාපන ආයතන නවීන ගෝලීය ප්‍රවණතා සමග උරෙනුර ගැටෙන අනාගතයට අත්‍යවශ්‍ය ම වන උපාධි පිරිනැමීම ඉතා වැදගත් බව එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ සභාපති ආචාර්ය පීටර් බොන්ෆීල්ඩ් මහතා අවධාරණය කළේය. ඒ මහතා මේ බව අවධාරණය කළේ ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය සමග ඇති දිගුකාලීන සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව මෑතකදී ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයක් අතරතුර පැවති මාධ්‍ය හමුවකදීය.

     

    මෙරට මාධ්‍ය හමුව සඳහා ඒ මහතා මෙන්ම වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති (ගෝලීය) මහාචාර්ය ඇලෙක්ස් හියුස්, එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යයන සම්බන්ධීකාරක ස්ටීවන් වොලිස්, ඉන්ෆොමැටික්ස් සමූහයේ නිර්මාතෘ සහ සභාපති ගාමිණී වික්‍රමසිංහ සහ IIT ආයතනයේ පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

     

    "ගෝලීය ප්‍රවණතාවලට අනුකූල උපාධි පිරිනැමීමේ එම අරමුණ අනුව යමින් අප අපගේ මෙරට හවුල්කාර ආයතනයවන IIT ආයතනය සමග වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලයේ උපාධි වැඩසටහන් දෙකක් හඳුන්වා දී තිබෙනවා. විලාසිතා ව්‍යාපාර කළමනාකරණ (MA) සහ සයිබර් ආරක්ෂණ සහ අධිකරණ (MSc) යන මෙම උපාධි දෙක මෙරටට හඳුන්වා දෙන ලද්දේ ප්‍රථම වරටය. මෙම විලාසිතා ක්ෂේත්‍රයේ උපාධිය ලන්ඩනය තුළ මෙන්ම ලොව පුරා ද ඉතා කීර්තිමත් උපාධි වැඩසටහනක් බවට පත්ව තිබෙන අතර එම උපාධිය හිමිකර ගත් සිසුන් ලොව විශිෂ්ටත ම විලාසිතා සමාගම්වල කීර්තිමත් විලාසිතා නිර්මාණකරුවන් සමග කටයුතු කරමින් සාර්ථක වෘත්තීය ගමන්මගක් හිමිකර ගෙන සිටිනවා. ඇඟළුම් ක්ෂේත්‍රයේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව තුළ මෙම පාඨමාලාව කුමන ආකාරයේ ධනාත්මක බලපෑමක් ඇතිකරනු ඇතිද යන්න පිළිබඳ අප මහත් උනන්දුවෙන් බලා සිටිනවා. තවද, එක්සත් රාජධානිය තුළ තොරතුරු තාක්ෂණය/ඩිජිටල්කරණය සහ නිර්මාණශීලිත්වය යන අංශ අතර මනා සබඳතාවක් පවතිනවා. ඒ අනුව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අප සතු විශේෂඥ දැනුම සමගින් සියලු අංග ආවරණය කෙරුණු පරිපූර්ණ දැනුමක් ලබා ගැනීමට මෙම උපාධි වැඩසටහන හරහා හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි" යනුවෙන් ආචාර්ය බොන්ෆීල්ඩ් මහතා සඳහන් කළේය.

     

    දේශීයව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද විලාසිතා කර්මාන්තයේ රැකියාවල නිරතවීමේ අපේක්ෂාවෙන් පසුවන සිසුන් හට නව්‍යකරණ උපාධි වැඩසටහන් හඳුන්වාදීමේ අරමුණින් යුතුව වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලය විලාසිතා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති (MA) උපාධිය හඳුන්වා දුන්නේය. IIT ආයතනයේ පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය ප්‍රකාශ කළේ, වර්තමානයේ ශීඝ්‍රයෙන් වෙනස්වන විලාසිතා කර්මාන්තය තුළ දූරදර්ශී ව්‍යවසායකයෙකු බවට පත්වීම සඳහා අවශ්‍ය ක්‍රමෝපායික තීරණ ගැනීම, නායකත්වය සහ ගැටළු නිරාකරණය ආදී කුසලතාවලින් මෙම පාඨමාලාව මගින් සිසුන් සවිබල ගන්වන බවය. "විලාසිතා ක්ෂේත්‍රයේ පුරෝගාමීන් සහ වෘත්තිකයන් සමග සමීපව කටයුතු කරමින් උසස් ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් සහ කුසලතා හිමිකර ගැනීමටත්, විලාසිතා ව්‍යාපාරය පිළිබඳ පුළුල් අවබෝධයක් හිමිකර ගැනීමටත් සිසුන්ට මෙමගින් අවස්ථාව උදා වනවා. සැපයුම් දාම කළමනාකරණය, ක්‍රමෝපායික විලාසිතා කළමනාකරණය, විලාසිතා අලෙවිකරණය සහ ව්‍යවසායකත්වය පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් මෙහිදී සිසුන්ට හිමිවන අතර විලාසිතා ව්‍යාපාර ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමට ද සිසුන්ට සිදු වනවා"

     

    ආචාර්ය බොන්ෆීල්ඩ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වර්තමානයේ සෑම කර්මාන්තයක් තුළ ම සයිබර් ආරක්ෂාව සම්බන්ධ ගැටළු පවතින බවය. ඒ අනුව මෘදුකාංග සහ තාක්ෂණය භාවිතය සම්බන්ධව සැබෑ අභියෝග රැසකට මුහුණදීමට සිදුවී ඇති බවත්, එම ගැටළුවලට සාර්ථකව මුහුණදීම සඳහා කුසලතාපූර්ණ පිරිසක් බිහිවීම කර්මාන්තයේ දියුණුවට වැදගත්වන බවත් ඒ මහතා අවධාරණය කළේය. මෙහිදී IIT ආයතනයටත් වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලයටත් එක්ව දියත් කළ හැකි අංශ හඳුනා ගැනීම ඉතා වැදගත්වන අතර සයිබර් ආරක්ෂාව සහ අධිකරණ ක්ෂේත්‍රය එවැනි එක් අංශයක් ලෙස නිසැකව සඳහන් කළ හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    සයිබර් ආරක්ෂණ සහ අධිකරණ MSc (දෑ අවුරුදු අර්ධ කාලීන පාඨමාලාව) හරහා සිසුන්ට වර්තමානයේ පරිගණක පද්ධති මුහුණදෙන ආරක්ෂණ අවදානම් පිළිබඳ මෙන්ම, ඩිජිටල් උපාංග තුළ ගබඩා කෙරෙන තොරතුරු වර්ග සහ ඩිජිටල් සාක්ෂ්‍ය හඳුනා ගැනීම හා ඒවා ලබා ගැනීම සිදු වන්නේ කෙසේද යන්න පිළිබඳව ද මනා දැනුමක් හිමිවේ. විවිධ සයිබර් ආරක්ෂණ සහ ඩිජිටල් අධිකරණ මෙවලම් පිළිබඳව ද දැනුම ලබාදෙන මෙම උපාධි පාඨමාලාව පරිගණක ආරක්ෂණ සහ අධිකරණ ක්‍රියාවලිවලට අදාළ වෘත්තීය සහ ආචාරධර්ම ගැටළු විශ්ලේෂණය මෙන්ම වාර්තා ලිවීම සහ අධිකරණය ඉදිරියේ සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීම යන වෘත්තීය අවශ්‍යතා සකස් කිරීම ද ආවරණය කරයි.

     

    1990 වසරේදී IIT ආයතනය ආරම්භ වූයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ව්‍යාපාර අංශවල කීර්තිමත් බ්‍රිතාන්‍ය උපාධි පිරිනමන මෙරට ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය ලෙසය. IIT ආයතනය, එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් සහ රොබර්ට් ගෝඩ්න් විශ්වවිද්‍යාල වලින් අභ්‍යන්තර පශ්චාද් උපාධි සහ සාමාන්‍ය උපාධි පිරිනමන සම්මානනීය උසස් අධ්‍යාපන ආයතනයකි. මෙම උපාධිධාරීහු තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර අංශ ඔස්සේ දෙස්-විදෙස් ආයතන සහ රාජ්‍ය අංශවල සාර්ථකත්වයට පත්ව සිටිති. ආරම්භයේ පටන් IIT ආයතනය උපාධිධාරීන් දහස් ගණනක් බිහිකර ඇති අතර ඔවුහු ලොව පුරා ආයතන සිය ගණනක සාර්ථක වෘත්තීය දිවියකට හිමිකම් කියති.