අනාගත ව්‍යාපාර නායකයින් බිහිකිරීමට දායකත්වය සලසමින්, SLIIT ව්‍යාපාර කළමනාකරණ ශිෂ්‍ය සමුළුව අති සාර්ථකව පැවැත්වෙයි

    August, 21, 2018

    SLIIT ආයතනයේ ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපාර කළමනාකාරණ ශිෂ්‍ය සමුළුව 2018 අගෝස්තු මස 02 වන දින SLIIT හි ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී 12 වන වරටත් අති සාර්ථක ලෙස පැවැත්වුණි.

    මෙවර සමුළුවේ තේමාව වූයේ ‘පරිකල්පනය, නවෝත්පාදනය සහ ප්‍රබෝධමත් කිරීම’ යන්නයි. ඒ හරහා අනාගතයේදී සාර්ථක ව්‍යාපාර නායකයින් බවට පත්වීම සඳහා ව්‍යාපාර කළමනාකරණ සිසුන්ට මඟ පෙන්වීම අරමුණු කෙරිණි. වර්තමාන ලෝකයට ගැලපෙන වෙනස් ව්‍යාපාර පරිසර තත්ත්වයන් ඔවුන්ට හඳුන්වාදෙමින් ඔවුන්ගේ නායකත්ව සහ වෘත්තීමය කුසලතා වැඩිදියුණු කරමින් අනාගත රැකියා අවස්ථා තහවුරු කරදීමක් ද සමුළුව හරහා අපේක්ෂා කෙරුණි.

    මෙම සමුළුව සඳහා N-Able ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී පීටර් ද අල්මේදා, චන්දනාලේප සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පිලිප් නෙහ්රි මුල්ලේගම සහ ධනාත්මක චින්තන සහ ජීවන කුසලතා විශේෂඥ ෆහාඩ් ෆාරුක් යන මහත්වරු සම්පත් දායකයින් ලෙස සම්බන්ධ වෙමින් පරිකල්පනය, නවෝත්පාදනය සහ ප්‍රබෝධමත් කිරීම යන අංශ ඔස්සේ හරවත් අදහස් දැක්වීමක් සිදුකළහ. හේමාස් මැනුෆැක්චරින් සමාගමේ සන්නාම කළමනාකාරිණී ඉසුරිනී වික්‍රමනායක මහත්මිය ද පෞරුෂත්ව සංවර්ධනය යන මාතෘකාව ඔස්සේ සිසුන් සමඟ තම දැනුම බෙදාගත්තාය.

    මෙම සමුළුව අමතමින් SLIIT සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. “අපගේ සිසුන් මෙවර සමුළුව සඳහා තෝරාගෙන තිබෙන්නේ ඉතාම කාලෝචිත තේමාවක්. විශේෂයෙන්ම SLIIT ආයතනයේ අරමුණ වන්නේත් පුළුල් පරිකල්පන හැකියාවක් තුළින් නවෝත්පාදනයට සහ එමගින් අප සියලු දෙනා ප්‍රබෝධමත් කළ හැකි ශිෂ්‍ය පරපුරක් බිහිකිරීමට සුදුසු අධ්‍යාපනික සහ පර්යේෂණික වටපිටාවක් නිර්මාණය කිරීමයි. මෙරට ව්‍යාපාර ලෝකයේ සිටින ප්‍රමුඛයින්ගේ සම්පත් දායකත්වය ද ලබාගනිමින් මෙවැනි සාර්ථක සමුළුවක් පැවැත්වීම සම්බන්ධයෙන් SLIIT ව්‍යාපාර පීඨයට ශුභාශිංසන එක් කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මෙම සමුළුව හරහා අපගේ සිසු දරුවන් මහත් ප්‍රතිලාභ අත්කරගත් බවත් නිසැකයි”.

    මෙම අවස්ථාව සඳහා SLIIT ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, පීඨ සාමාජිකයින්, SLIIT සිසුන් මෙන්ම සෙසු රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් ද විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ. සහභාගී වූවන් තුළ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් ද සංවිධානය කර තිබුණි.
    මෙම සමුළුව පිළිබඳ තම අදහස් බෙදාගනිමින් SLIIT ව්‍යාපාර පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ මහතා මෙසේ පැවසීය. “අපගේ පීඨය විසින් සංවිධානය කරන විශේෂම වැඩසටහනක් වන මෙම ව්‍යාපාර කළමනාකරණ ශිෂ්‍ය සමුළුව හරහා විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටත්, නවෝත්පාදන ව්‍යාපාර භාවිතාවන් පිළිබඳ දැනුවත් වීමටත් විශාල අවස්ථාවක් උදාවෙනවා. ඒ නිසා තම සහෝදර සිසුන්ට මෙවන් වටිනා අත්දැකීමක් සමීප කරවීමටත්, ඔවුන්ගේ අනාගත කටයුතු සාර්ථක කරගැනීමටත් දායක වූ මෙම සමුළුවේ සංවිධායකයින්ටත් ඒ ගත් උත්සාහය පිළිබඳ මාගේ ප්‍රශංසාව පිරිනමන්න කැමැතියි”.

    2007 වසරේදී ආරම්භ වූ ව්‍යාපාර කළමනාකරණ ශිෂ්‍ය සමුළුව යනු SLIIT ව්‍යාපාර පීඨ ශිෂ්‍ය සමාජය විසින් සංවිධානය කරන ප්‍රධාන වැඩසටහනකි. ව්‍යාපාර පීඨයේ අරමුණ වන්නේ ද තම පීඨයේ සිසුන් ආදර්ශමත් ව්‍යාපාර නායකයින් බවට පරිවර්තනය කිරීම ය. දශකයකට වැඩි කාලයක් පුරාවට මෙම සමුළුව සාර්ථක අයුරින් සංවිධානය කිරීමට ව්‍යාපාර පීඨය සමත්ව ඇති අතර ඒ හරහා රැකියා වෙළෙඳපොළ තුළ වැදගත් තරගකාරී සාධකයක් වන සිසුන්ගේ විෂය සමගාමී මෙන්ම විෂය බාහිර අංශයන්හිද තම දක්ෂතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාව සැලසී තිබේ. මෙවර සමුළුව සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය හේමාස් මැනුෆැක්චරින් සමාගම ලබාදුනි.

    සේයා රූ විස්තරය: SLIIT සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ සහ N-Able සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී පීටර් ද අල්මේදා යන මහත්වරු


    SLIIT ව්‍යාපාර කළමනාකරණ ශිෂ්‍ය සමුළුව 2018