අපනයනකරුවන් ලියාපදිංචි කිරීමට සරල ක්‍රමවේදයක්

    January, 24, 2019

    අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා 1985 දී හඳුන්වා දෙන ලදුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දැනට භාවිත කරන ක්‍රමවේදය යටතේ අවශ්‍ය ලියාපදිංචිය ලබාගැනීම සඳහා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු වීමත්, විවිධ ආයතන 06ක් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට සිදු වීමත් හේතුවෙන් එම ලියාපදිංචිය සඳහා සති 01 සිට සති 03 දක්වා කාලයක් ගත වන බව නිරීක්ෂණය කර තිබේ.

     

    එසේම අපනයන කටයුතු සඳහා අවසර හෝ බලපත්‍ර අවශ්‍ය වන ව්‍යාපාරික ආයතනවලට ඉහත සඳහන් කාලයට අමතරව තවත් සති 02 සිට සති 04 දක්වා කාලයක් ගතවන බව අධ්‍යයන මඟින් පෙනී ගොස් තිබේ.

     

    මෙම ලියාපදිංචි ක්‍රමවේදය පහසුවෙන් සිදු කිරීම සඳහා දැනටමත් අපනයනකරුවන් පිළිබඳ සමාන දත්ත සහිත තොරතුරු පද්ධති පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ එක්ව අපනයනකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පියවර ගනු ලැබ තිබේ.

     

    ඒ අනුව දැනට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන ලියාපදිංචි ක්‍රමවේදය අවලංගු කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.