අපනයන උපදේශන කමිටු 24ක් සඳහා සාමාජිකයන් පත් කෙරේ

    October, 15, 2021

    වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  විසින් 2021 සිට 2026 දක්වා වන ඉදිරි වසර පහක කාලයක් සඳහා  ප්‍රධාන අපනයන අංශ විසි හතරක් ආවරණය වන පරිදි අපනයන උපදේශන කමිටු සාමාජිකයන් පත් කර තිබේ.

    1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 10 වන වගන්තියට අනුව අපනයන සංවර්ධනය භාර අමාත්‍යවරයාට අපනයන වෙළඳාමේ ක්‍රියාකාරී අංශයන් ප්‍රවර්ධනය කිරීම සඳහා අපනයන උපදේශක කමිටු පිහිටුවීමේ බලය ඇත.

    COVID-19 ගෝලීය වසංගතය හේතුවෙන් මේ වන විට අභියෝග රැසකට මුහුණ දී සිටින අපනයන අංශය ආර්ථික සංවර්ධනය සදහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර මෙම උපදේශන කමිටු මගින් අපනයන කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන වෙළෙඳ අභියෝග සහ අවස්ථා හඳුනා ගැනීම,අපනයන  අංශයේ තරගකාරීත්වය ශක්තිමත් කිරීම සඳහා ඉලක්ගත වැඩසටහන් සකස් කිරීම, වෙළෙඳපොළ අවශ්‍යතා හඳුනා ගැනීම මෙන්ම අපනයන අංශය දියුණු කිරීම සඳහා සකස් කළ යුතු ප්‍රධාන ප්‍රතිපත්ති යෝජනා කිරීම අපේක්‍ෂා කෙරේ.

    මෙම කමිටු අදාල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත වන අතර අපනයන පුළුල් කිරීම හා ප්‍රවර්ධනය වේගවත් කිරීම සඳහා උපදේශන කමිටුවල  ක්‍රියාකාරී නියෝජනය මගින් අපනයන අංශෙය් සාර්ථකත්වයක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.

    මෙම උපදේශන කමිටු අපනයන සංවර්ධන මණ්ඩලෙයහි වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්, ජාතික අපනයන උපාය මාර්ග සැලසුම සහ ජාතික අපනයන ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් සිදුකයි.

    ඇඟලුම්, ආයුර්වේද හා ශාකසාර නිෂ්පාදන සහ ආලේපන, බෝට්ටු සහ නැව් නිශ්පාදන, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉදිකිරීම් සේවා, අධ්‍යාපන සේවා, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, අපනයන නිෂ්පාදන ගම්මාන, මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ/ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණය, ලුහු ඉංජිනේරු විද්‍යාව, සැපයුම් සේවා, සාගර හා අක්වෙරළ ඉංජිනේරු, ඛනිජ පදනම් කරගත් නිෂ්පාදන, ජාතික තත්ත්ව යටිතල පහසුකම්, කාබනික නිෂ්පාදන, විසිතුරු මාළු, ඖෂධ, සැකසූ ආහාර පාන, ප්‍රාදේශීය සංවර්ධනය, රබර් හා රබර් පදනම් කරගත් නිෂ්පාදන සහ ප්ලාස්ටික්, මුහුදු ආහාර සහ ජලජීවි වගා අංශය, කුළු බඩු සහ සාන්ද්‍රණ නිශ්පාදන, වෙළඳ ප්‍රවර්ධනය සහ වෙළඳ තොරතුරු යන අංශ සඳහා අපනයන උපදේශක කාරක සභා පත් කර ඇත.