අපනයන සංවර්ධන මණ්ඩලය මගින් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සදහා අපනයන සැකසුම් ගම්මාන පිහිටුවීමට ව්‍යාපෘතියක්

    August, 13, 2021

    " සෞභාග්‍යයේ දැක්ම " ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ග්‍රාමීය ගොවි ප්‍රජාව රටේ ආර්ථික සංවර්ධනය සමඟ ඒකාබද්ධ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ක්‍රියාත්මක කරන අපනයන නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අපනයන අභිමුඛ කිතුල් නිෂ්පාදන ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ මූලික සාකච්ඡාවක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විෂය භාර අමාත්‍ය අරුන්දික ප්‍ර‍නාන්දු යන මහත්වරුන්ගේ ප්‍ර‍ධානත්වයෙන් අගෝස්තු 05 වන දින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලීය ශ්‍ර‍වණාගාරයේදී පැවැත්විය.

    මේ සාකච්ඡාව සඳහා වෙළඳ අමාත්‍යාංශ අතිරේක ලේකම් කාන්ති ගුණවර්ධන මහත්මිය, පොල්, කිතුල් සහ තල් වගා කිරීම ප්‍රවර්ධනය හා ඒ ආශ්‍රිත කාර්මික නිෂ්පාදන නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලේකම් තිස්ස හේවාවිතාරණ මහතා ද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා හා කිතුල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ගිහාන් ප්‍රියනාත් පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් නිලධාරින් සහ කිතුල් අගය දාමයේ පාර්ශවකරුවන් වන වගාකරුවන්, සැකසුම්කරුවන්, දේශීය  ව්‍යවසායකයින් හා  අපනයනකරුවන් රැසක් සහභාගීවූහ.

    වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින් සදහන් කළේ ජාත්‍යන්තර වෙළදපලතුල කාලීනව පිරිසිදු කිතුල් පැණි සහ හකුරු  සදහා ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවයි.ඒ සදහා වෙළදපොල සැකසීමට අපනයන සංවර්ධන මණ්ඩලයට ශක්‍යතාවයක් ඇති බවත් නිෂ්පාදන ක්‍රියාවලිය සහ එයට උදව් කිරීමට වෙළද අමාත්‍යංශය සූදානම්ව සිටින බවත් අමාත්‍යවරයා සදහන් කළා.

    තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ කිතුල් නිෂ්පාදන තත්වය උසස් කරමින් අපනයනය දක්වා ගෙන යාම සියළුම පාර්ශවකාර  ආයතන සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි.ඒ අනුව කිතුල් නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙළ සාර්ථකව  සංවිධානය කරගන්නා ආකාරය පිලිබදව අමාත්‍යවරයා දීර්ඝ ලෙස මෙහිදී සාකච්ජා කළ අතර ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටියා.

    එසේම කිතුල් නිෂ්පාදන සදහා ඇති මිල ස්ථායිකරණය මෙන්ම කිතුල් නිෂ්පාදන අපනයනකරුවන් මුහුණ දෙන ගැටළු පිළිබද අවධානය යොමුකළ අතර ඔවුන්ගේ අදහස් යෝජනා සදහා අවධානය යොමුකරන ලදි.

    අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා සදහන් කලේ දැනට ජනප්‍රිය මේපල් සිරප් වලට ආදේශකයක් ලෙස අපනයන වෙළඳපොල තුළ කිතුල් පැණි  ප්‍රවර්ධනය කිරීම සඳහා, නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සහ සැපයුම් ධාරිතාව යන දෙකම ඉහළ නැංවීම ඉතාමත් වැදගත් බවයි.

    එසේම කිතුල් පැණි හා හකුරු  අපනයන නිෂ්පාදනයක් ලෙස ප්‍රවර්‍ධනය කිරීම සඳහා කිතුල්  නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීම සඳහා සියළුම පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් ඒකාබද්ධ නිෂ්පාදන හා සැපයුම් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් අපනයන නිෂ්පාදන ගම්මානවල සාර්ථකත්වය මත එහි අනාගතය රඳා පවතින බැවින් මෙම ජාතික වැඩසටහනේ සාර්ථකත්වයට සම්බන්ධ සියලු දෙනාගේ සහයෝගය හා ක්‍රියාකාරී දායකත්වය බලාපොරොත්තු වන බවත් සභාපති සුරේෂ් ඩී ද මෙල් මහතා වැඩිදුරටත් සදහන් කළා.

    මෙම කිතුල් අපනයන නිෂ්පාදන ගම්මාන ව්‍යාපෘතිය වැඩසටහන  යටතේ මහනුවර, මාතලේ, බදුල්ල, රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක තුළ කිතුල් අපනයන නිෂ්පාදන ගම්මාන 17 ක් ස්ථාපිත කිරීමට යෝජිතයි.

    අපනයන නිෂ්පාදන ගම්මාන පිහිටුවීම සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා ගරු. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතියද ලබා දී තිබේ.

    මෙම ජාතික වැඩපිළිවෙල තුළින් රජයේ ආර්ථික දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික සම්පත් ආයෝජනය කරමින් අපනයන නිෂ්පාදන ගම්මාන 1000 ක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරයි. ඉතිරි වසර පහ තුළ අපනයන වලින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් උපයා ගැනීමටත් ආනයන ආදේශක මගින් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක විදේශ විනිමය ඉතිරි කිරීමටත් අපේක්ෂා කරයි.