අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය ගැන අවධානය

    May, 8, 2024

    විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් - ඇමැති සියඹලාපිටිය කියයි

    රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බවත් ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනු ඇති බවයි.

    වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. සියලු වාහන ආනයනය කිරීම එක් වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බවයි ආනයනකරුවන් එහි දී කියා සිටියේ. පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදී වශයෙන් කොටසින් කොටස ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රායෝගික බව එහි දී අවධාරණය කෙරිණි. බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටුලුකාරී තත්ත්වයන් පිළිබඳ ද මෙහි දී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.