ආචාර්ය කිංස්ලි බර්නාඩ් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිත්වයට

    April, 6, 2023

    ප්‍රවීණ අපනයන වෘත්තීයවේදී, ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා අප්‍රේල් මස තුන්වන දින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව සභාපති ලෙස වැඩ ආරම්භ කළේය.

    වැඩ භාරගැනීමෙන් අනතුරුව නව සභාපතිවරයා අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය අමතමින් පැවසුවේ, අපනයන ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් අවශ්‍ය බැවින් නව්‍යකරණය සහ දියුණු තාක්ෂණය මත පදනම් වූ නිෂ්පාදන අපනයන සහා හඳුන්වා දීමට උත්සාහ කළ යුතු බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රගතිය බංග්ලාදේශය සහ වියට්නාමය වැනි කලාපයේ රටවලට සාපේක්ෂව මන්දගාමී වී ඇති බවත්, රටේ අපනයන දියුණු කිරීම සඳහා සියලුම සේවකයින්ගේ කැපවීම සහ සහාය තමා බලාපොරොත්තුවන බවත්ය.

    දශක හතරක කීර්තිමත් වෘත්තීය අත්දැකීම් ඇති ඔහු, අපනයන ක්ෂේත්‍රයෙහි ප්‍ර‍මුඛ ආයතනවල වගකිවයුතු තනතුරු රාශියක් දරා ඇත. 90 දශකයේ මුල් භාගයේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ අලෙවිකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඔහු එම කාල පරිච්ඡේදයේදී Expo 92 සහ Expo 94 යන ඉතා සාර්ථක ජාත්‍යන්තර ප්‍රදර්ශන පැවැත්වීම සඳහා සම්බන්ධ විය. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ (SLECIC) කළමනාකරණ උපදේශක, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ (EASL) උප සභාපති, ලංකා වානිජ මණ්ඩලය, සහ  ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ (NCE) සභාපති ධූරයන් හොබවමින් ජාතික අපනයන කාර්යභාරයේ දී කීර්තිමත් වැඩකොටසක් කළ අයෙක් ලෙස ද ඔහු හැඳින්විය හැකිය. ඔහු දංකොටුව පෝසිලේන් PLC හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන කාලය තුළ, NCE අපනයන සම්මාන උළෙලේදී එම සමාගම අඛණ්ඩව වසර තුනක් ‘වසරේ විශිෂ්ටතම අපනයනකරු’ ලෙස සම්මානයට පාත්‍ර විය.

    ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, 1989 සිට 2008 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ විවෘත කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) බාහිර කථිකාචාර්යවරයකු ද විය.

    ඔහු කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සඳහා වූ ශ්‍රී ලංකා කවුන්සිලයේ (SLCARP) හිටපු සභාපතිවරයා ද විය. කැපිටල් මහරාජා සංවිධානයේ සහ දයා සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ, කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අලෙවිකරණ, වෝකර් සහ ග්‍රීග් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ යුනිලීවර් ශ්‍රී ලංකා හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ද, බිම්පුත් ෆිනෑන්ස් සමාගමේ සභාපතිත්වය ද ඔහුට හිමි වූ අනෙකුත් පත්වීම් අතර වේ.

    2014 දී සිය ආයතනික ජීවිතය අවසන් කිරීමෙන් පසුව, බර්නාඩ් මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) - ව්‍යාපාර පීඨයට (ව්‍යාපාරික පාසලට) සම්බන්ධ වීමෙන් පූර්ණ කාලීන අධ්‍යාපනඥයෙකු බවට පත් වූ අතර ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තනතුරු ද හෙබවීය.

    ආචාර්ය කිංස්ලි බර්නාඩ් මැලේසියාවේ කළමනාකරණ සහ විද්‍යා විශ්වවිද්‍යාලයෙන් (MSU) ආචාර්ය උපාධියක් ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් ද, ඇමරිකා එක්සත් ජනපදයේ Colorado State University (CSU) වෙතින් ජාත්‍යන්තර අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සහ යාපනය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය (BSc) ද ලබා ඇත.