අප්‍රේල් මාසයේ සංචාරක පැමිණීම 40% කින් අඩුවෙලා

    May, 3, 2022

    කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව විසින් රටවල් ගණනාවකට පනවා තිබූ සංචරන සීමා ඉවත් කිරීමත් සමඟ මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබී තිබුණි.

    කෙසේ වෙතත් මේ වන විට ලංකාව මුහුණ දී තිබෙන ආර්ථීක සහ සමාජ අස්ථාවරභාවය හමුවේ මාර්තු මාසය දක්වා ක්‍රමයෙන් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ දක්නට ලැබුණු වර්ධනයෙහි ශීඝ්‍ර අඩු වීමක් අප්‍රේල් මාසයේ දී දක්නට ලැබී තිබේ.

    ඒ අනුව 2022 වසරේ අප්‍රේල් මාසය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දැක්වනුයේ 62,980ක් ලෙසයි. එම සංඛ්‍යාව මාර්තු මාසයේ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව වන 106,500 ට සාපේක්ෂව 40% ක තරම් විශාල අඩු වීමකි.

    අප්‍රේල් මාසය තුළ මෙරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇති රට ලෙස දැක්වෙනුයේ එක්සත් රාජධානියයි. එම සංඛ්‍යාව 11,539කි.

    මාර්තු මාසය දක්වා මෙරටට වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රටවල් අතර පෙරමුණේ පැවති ඉන්දියාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 8,678ක් ලෙසයි.

    ඉන් පසු පිළිවෙලින් ජර්මනියෙන් 6,088ක්, ප්‍රංශයෙන් 4,035ක් සහ රුසියාවෙන් 3,874ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

    සමස්තයක් ලෙස 2022 මුල් මාස 04 තුළ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 348,314 කි.