අප්‍රේල් 15 නිවාඩුව රජයේ සේවකයින්ට පමණ ද? පිළිතුර “නැත“

    April, 2, 2019

    එළඹෙන අප්‍රේල් 15 වන සඳුදා දින රජයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය වන අප්‍රේල් 14 වනදා ඉරිදා දිනයක් වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට රජය විසින් පියවර ගෙන තිබේ.

    මේ අතර 2019 අප්‍රේල් 14 සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය ඉරිදා දිනයකට යෙදීම හේතුවෙන් අප්‍රේල් 15 සඳුදා දිනය, විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2019 වසර ආරම්භයේ දීම ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    කෙසේ වෙතත් අප්‍රේල් 15 සඳුදා දිනය පුද්ගලික අංශයට ද නිවාඩු දිනයක් ද යන කතාබහ මේ වන විට පැන නැගී ඇත.

    පසුගිය 2018 වසරේ දී මැයි 01 නිවාඩු දිනය, මැයි 07 වනදාට වෙනස් කිරීම හේතුවෙන් මෙවැනිම ගැටළුකාරී තත්ත්වයක් ඇති වූ අතර එහිදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ රජය, පොහොය දින ඇතුළු රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින හා බැංකු නිවාඩු ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ ද පුද්ගලික අංශයේ නිවාඩු දින ගැසට් පත්‍රයේ සඳහන් නොකරන බවයි.

    සේවක නිවාඩු සම්බන්ධයෙන් බලපත්වන ප්‍රධනතම නීතිමය අණපනත් දෙක වනුයේ සාප්පු හා කාර්යාල සේවක පනත හා පඩිපාලක සභා ආඥා පනතයි.ඊට අනුව වර්ෂයක් තුළ විශේෂ වෙළෙඳ නිවාඩු 08 කට පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් හිමිකම් කියනු ලැබේ. එනම්,
    • දෙමළ තෛපොන්ගල් දිනය
    • ජාතික නිදහස් දිනය
    • මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය
    • සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය‍
    • සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනය
    • මැයි 01 දින කම්කරු දිනය
    • වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
    • නත්තල් දිනය

    මෙම විශේෂ වෙළෙඳ නිවාඩු දින හැඳින්වෙන්නේ ව්‍යවස්ථාපිත නිවාඩු දින ලෙසිනි. මේවා රජය විසින් පුද්ගලික අංශයේ සේවය කරනු ලබන්නා වූ සේවකයින් හට වැටුප් සහිතව ලබා දී ඇති නිවාඩු වර්ගයකි.

    ව්‍යවස්ථාපිත ප්‍රසිද්ධ නිවාඩු දිනයක් සති නිවාඩු දිනයක හෝ අර්ධ නිවාඩු දිනයක යෙදුනහොත් ඒ වෙනුවෙන් වෙනත් දිනයක එම නිවාඩුව ලබා දිය යුතු බව නීතියෙහි සඳහන් වේ.

    ව්‍යවස්ථාපිත ප්‍රසිද්ධ නිවාඩුවක් සති නිවාඩු දිනයක හෝ අර්ධ නිවාඩු දිනයක් යෙදෙන දිනක යෙදුනහොත් එකී දිනය ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් ලෙස සැලකිය යුතු වන අතර ඒ හරහා අහිමි වන සති නිවාඩු දිනය හෝ අර්ධ නිවාඩු දිනය එකී සතිය තුළ දී හෝ ඉන්පසු එළඹෙන සතිය තුළ දී ලබා ගැනීමට සේවායෝජකයන් විසින් ඉඩ සැලසිය යුතුවේ.

    2018 වසරේ මැයි 01 නිවාඩුව මැයි 07 දිනට වෙනස් කිරීම හේතුවෙන් එවකට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා යූ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිවේදනයක් මගින් කියා සිටියේ, “සෑම සේවායෝජකයකුම තමා යටතේ සේවයෙහි යොදවා ගෙන සිටින්නාවූ සියළුම කම්කරුවන්ට 1971 අංක 29 දරණ නිවාඩු පනත යටතේ සැලකෙන ආණ්ඩුවේ නිවාඩු දවස් පඩි සහිත නිවාඩු දින වශයෙන් දිය යුතු බවත්, මැයි දිනය ද එයින් එක් නිවාඩු දිනයක් වන අතර එබැවින් ඉහත වෙනස්කම වෙළෙඳ නිවාඩු උදෙසාද අදාළ වන බවත්“ ය.

    මේ අනුව සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනය ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් වන බැවින් එළඹෙන අප්‍රේල් 15 දින පුද්ගලික අංශයට ද නිවාඩු දිනයක් වනු ඇත. එසේ නැතහොත් එකී සතිය තුළ දී හෝ ඉන්පසු එළඹෙන සතිය තුළ දී අහිමි වන සති නිවාඩු දිනය ලබා ගැනීමට සේවායෝජකයන් විසින් ඉඩ සැලසිය යුතුවේ.