“අපි අපේ වැඩ කොටස කරන්නම්, ඔබ ඔබේ වැඩ කොටස කරන්න” – ජනපති ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලයි

    October, 13, 2026

    මේ වන විට රට තුළ ව්‍යාපාරකරණය සඳහා අවශ්‍ය විනිවිදභාවය, ආයෝජන සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය නීති සම්පාදනය සහ ආයෝජනයන් සඳහා අවශ්‍ය යටිතලපහසුකම් සංවර්ධනය රජය විසින් ඉටු කර ඇති බවත්, රජය රජයේ වැඩ කොටස කරන බවත්, ආයෝජකයින් ඔවුන්ගේ වැඩ කොටස සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ඊයේ (12) සන්ධ්‍යාවේ කොළඹ දී පැවති, ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජනය සමුළුව 2026 අමතමින් ජනාධිපතිවරයා ව්‍යාපාරික ප්‍රජාවෙන් මෙම ඉල්ලීම සිදුකළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    “අපි රට ඇතුළේ අවශ්‍ය වන විනිවිදභාවය හදලා තියෙනවා. ආයෝජනයන් ව්‍යාපාරික සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය වන නීති සම්පාදනයේ සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් අදියරේ තිබෙනවා. ඒ වගේම ආයෝජනයන් සඳහා අවශ්‍ය වන යටිතලපහසුකම් අපි වර්ධනය කරලා තිබෙනවා.“

    “ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුවට පැවරී ඇති කාර්යයන්; විනිවිදභාවය, අවශ්‍ය වන නීතිරෙගුලාසි සම්පාදනය කරලා දීම සහ අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධනය කරලා දීම. අපි ඉල්ලන්න තියෙන්නේ, අපි අපේ වැඩ කොටස කරන්නම්, ඔබතුමාලා ඔබතුමාලගේ වැඩ කොටස කරන්න.“

    “මේ හැරවුම් ටිකක් අමාරුයි. ඔබට මතක ඇති ගිය සැරේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා SVAT ගැන, ඔබට සැකයක් තිබුණා. බොහෝ අය ප්‍රශ්න කළා SVAT ඉවත් කරන්න එපා කියලා. මම හිතන්නේ අද ඔබට එහෙම ප්‍රශ්නයක් නැහැ. සාර්ථක කරලා තියෙනවා. හැබැයි හැම දෙනාම තිගැස්මකට භාජනය වුණා, තමන්ට අවශ්‍ය වන මුදල් ප්‍රවාහයේ බිඳ වැටීමක් සිදුවේවිද, නමුත් සාර්ථක කරලා. ඒකේ ප්‍රතිඵල මොනවාද, ප්‍රතිඵල මාසයකට SVAT නිසා leakage එක තිබිලා තියෙනවා, බිලියන 10ක්. ඒක ඇත්ත තත්ත්වය.“

    “අපිට අවශ්‍යයි ශක්තිමත් ව්‍යාපාරික කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුළ. විදෙස් ආයෝජකයන්, විදෙස් ආයෝජකයන් සමඟ ඉතා හොඳින් සහසම්බන්ධය වෙන්න පුළුවන් ව්‍යාපාරිකයන් අපට ඕනා.“