අපේ රාජ්‍ය අංශයේ වංචා දූෂණ ගැන අළුත්ම කතාව මෙන්න!

    December, 4, 2014

    ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් වාර්ෂිකව නිකුත් කරන ගෝලීය වංචා හා දූෂණ නිරීක්ෂණ දර්ශකයේ (CPI) මේ වසරේ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව ගිය වසරට වඩා ප්‍රගතියක් පෙන්නුම් කර තිබීම කැපී පෙනේ.

    රටවල් 175 ක් සම්බන්ධයෙන් කර තිබෙන මෙම නිරීක්ෂණයේදී ලංකාව ලකුණු 38 ක් රැස්කර ගනිමින් මෙවර 85 වන ස්ථානයට පත්ව තිබෙන අතර ගිය වසරේදී සිටියේ ලකුණු 37 ක් රැස්කර ගනිමින් 91 වන ස්ථානයේයි.

    ගෝලීය වංචා හා දූෂණ නිරීක්ෂණ දර්ශකයට පදනම් වන්නේ රාජ්‍ය අංශයේ වංචා හා දූෂණ පිළිබඳ විශේෂඥ මතයි. රට රටවල රාජ්‍ය අංශයේ තිබෙන වංචා දූෂණවල ස්වභාවය පිළිබඳව මෙම දර්ශකයට අනුව 0 සිට 100 දක්වා ලකුණු පරාසයක් ලබාදී තිබෙන අතර 0 යන්නෙන් හැඟවෙන්නේ අදාළ රටේ රාජ්‍ය අංශයේ වංචා දූෂණ ඉතාමත් ඉහළ බවත් 100 යන්නෙන් හැඟවෙන්නේ එම රටේ රාජ්‍ය අංශය වංචා හා දූෂණ වලින් ඉතාමත් අඩු බවයි.
    ලංකාවට ලැබී තිබෙන්නේ 50 කට අඩු පරාසයකුයි. මෙයින් කියවෙන්නේ ලංකාවේ රාජ්‍ය අංශය තුළ වංචා හා දූෂණ අවම කිරීම සඳහා තවදුරටත් සැලකිය යුතු පියවර ගත යුතුව තිබෙන බවයි.

    2014 ගෝලීය වංචා හා දූෂණ නිරීක්ෂණ දර්ශකය මගින් මණිනු ලැබූ රටවල් 175 අතුරින් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් ලකුණු 50 කට අඩුවෙන් ලබා තිබීමද මෙහිදී කැපී පෙනේ.

    මෙහිදී, රාජ්‍ය අංශයේ වංචා හා දූෂණ අඩුම රට බවට ඩෙන්මාර්කය පත්වෙද්දී රාජ්‍ය අංශයේ වංචා හා දූෂණ වැඩිම රටවල් බවට පත්ව තිබෙන්නේ සෝමාලියාව සහ උතුරු කොරියාවයි.