August, 20, 2019
හානි පූරණ ගාස්තු සහ බදු ගෙවීමට පෙර 2019 පළමු අර්ධයේදී කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 19.476 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙය 2018 අදාළ කාලයට සාපේක්ෂව 9.45% ක වර්ධනයකි.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් 2019 ජුනි 30 වනදායින් අවසන් වන මාස හය තුළදී රුපියල් බිලියන 73.587 ක දළ ආදායමක් ලබා තිබෙන අතර එය 2018 වසරේ හතරවන කාර්තුවේ සිට ක‍්‍රියාත්මක කළ ශ‍්‍රී ලංකා නව ගණකාධිකරණ ප‍්‍රමිති 09 (SLFRS 9) වලට අනුකූලව 2018 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 64.944 ක් වූ අගයට සාපේක්ෂව 13.31% ක වර්ධනයක් බව බැංකුව සඳහන් කරයි.
මෙම මාස හය තුළදී ණය පොතේ මන්දගාමී වර්ධනය සහ අක‍්‍රීය ණය වර්ධනය හමුවේ වුවත් පොලී ආදායම පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 12.90% කින් රුපියල් බිලියන 64.622 ක් දක්වා වර්ධනය වී තිබේ. විශේෂයෙන්ම කාලීන තැන්පතු සඳහා ඇති ඉල්ලූම නිසා තැන්පතු කළඹේ ඇතිවූ වෙනස්කම් හේතුවෙන් මෙම කාලයේදී පොලී වියදම 16.08% ක ඉහළ අනුපාතයකින් වර්ධනය වී රුපියල් බිලියන 40.477 ක්වී ඇත.
මේ අතර, මෙම කාල සීමාවේදී බැංකුවේ ශුද්ධ පොලී ආදායම 7.95% කින් වර්ධනය වී රුපියල් බිලියන 24.146 ක්වී තිබෙන අතර යහපත් වෙළඳපොළ තත්ත්වය නිසා අනිකුත් ආදායම් 71.66% කින් රුපියල් බිලියන 3.134 ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ වෙළඳාම මගින් ලැබූ ශුද්ධ ආදායම 195.42% කින් අතිවිශාල වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙනි.
2019 මුල් මාස හය තුළදී සමූහයේ සමස්ත මෙහෙයුම් වියදම 2018 අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව 10.98% කින් වර්ධනය වී රුපියල් බිලියන 12.642 ක්වී තිබේ. මේ අතර, මූල්‍ය සේවා මත බදු වලට පෙර ලාභය 2018 අදාළ කාලයට සාපේක්ෂව මෙම කාල සීමාව තුළදී 3.31% ක පසුබෑමක් වාර්තා කරමින් රුපියල් බිලියන 13.949 ක්වූ බව බැංකුව සඳහන් කරයි.
කෙසේවෙතත්, ණය ගෙවීම් බද්ද (DRL) සඳහා රුපියල් බිලියන 1.168 ක්ද ඇතුළත්ව මූල්‍ය සේවා මත බදු 39.52% කින් රුපියල් බිලියන 3.604 ක් දක්වා වර්ධනය වීමත් සමග සමූහයේ බදු වලට පසුව ලාභය 2019 මුල් මාස හය තුළදී 2018 අදාළ කාලයට සාපේක්ෂව 16.85% කින් පහළ ගොස් රුපියල් බිලියන 6.673 ක්වී තිබේ. සලකා බලන කාල සීමාව තුළදී සමස්ත බදු ප‍්‍රමාණය රුපියල් බිලියන 7.282 ක සීමාව ඉක්මවා තිබෙන අතර සක‍්‍රීය බදු අනුපාතය අතිවිශාල වශයෙන් 52% කින් වර්ධනය වී ඇත.
‘ආර්ථිකයේ ප‍්‍රධාන අංශ මේ වනවිට මුහුණ දී තිබෙන අභියෝගය අපගේ මාස හයක මූල්‍ය ප‍්‍රතිඵල මගින් විදහා දක්වනවා. මෙමගින් පෙන්වන්නේ ප‍්‍රමාණත්වයෙන් සහ ශක්තියෙන් ඉහළ බැංකුවක් වන අපට පවා වෙළඳපොළේ තිබෙන අහිතකර තත්ත්වය බලපාන බවයි,’ යනුවෙන් නවතම මූල්‍ය තොරතුරු පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ධර්ම ධීරසිංහ මහතා පැවසීය. ‘අපගේ පාලනයෙන් තොර සාධක ගොන්නක් අපගේ දර්ශකයන්ට අඛණ්ඩව බලපානවා. කෙසේවෙතත්, මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණදී පෙරට පැමිණීමේ ශක්තිය බැංකුවට තිබෙනවා.’
මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘2019 පළමු කාර්තුවට සාපේක්ෂව දෙවන කාර්තුවේදී අපගේ මූල්‍ය ප‍්‍රතිඵල වර්ධනය වී තිබීම අපිට ධෛර්යක්. ණය සේවාකරණ පීඩනයට මුහුණ දෙන අංශ සළකා සෑම කාර්තුවකදීම හානි පූරණ ගාස්තු වැඩිකිරීමට සිදුවීම ප‍්‍රශ්ණයක් වන නමුත් මෙම කාලයේ තිබෙන අවශ්‍යතාවයට අපගේ උපායමාර්ගික ප‍්‍රතිචාරය තුළින් අපගේ කාර්යසාධනයට ඇති අහිතකර බලපෑම් අඩුකර ගතහැකි යැයි අපි විශ්වාස කරනවා.’
2019 පළමු කාර්තුවට සාපේක්ෂව හානි පූරණ ගාස්තු දෙගුණ වී තිබියදී වුවද 2019 දෙවන කාර්තුවේදී සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම 12.43% කින් රුපියල් බිලියන 16.999 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, 2019 ජුනි 30 වනදා වනවිට සමූහයේ සමස්ත වත්කම් රුපියල් බිලියන 46.174 කින් හෙවත් 3.50% කින් වර්ධනය වී රුපියල් ටි‍්‍රලියන 1.366 ක්වී තිබෙන අතර එය ගෙවී ගිය වසර තුළ රුපියල් බිලියන 152.603 ක් හෙවත් 12.58% ක වර්ධනයක් නියෝජනය කරයි.
2018 වසරේ අවසානයේ සිට සලකා බලන කාලයේදී ශුද්ධ ණය සහ අත්තිකාරම් 1.54% කින් රුපියල් බිලියන 854.238 ක් දක්වා සුළු වශයෙන් අඩුවී තිබේ. මේ අතර, මාස 12 ක කාලය තුළදී ණය පොත රුපියල් බිලියන 40.513 කින් වර්ධනය වී තිබෙන අතර එය පෙර වසරට සාපේක්ෂව 4.98% ක වර්ධනයකි.
2018 දෙසැම්බර් 31 වනදා සිට සලකා බලන කාලය අවසන් වනවිට තැන්පතු රුපියල් බිලියන 42.780 කින් හෙවත් 4.30% කින් වර්ධනය වී රුපියල් ටි‍්‍රලියන 1.037 ක්වී තිබේ. මාස 12 ක කාලයක් තුළදී තැන්පතු රුපියල් බිලියන 117.073 කින් පෙර වසරට සාපේක්ෂව 12.72% කින් වර්ධනය වී තිබෙන අතර එය සාමාන්‍යයෙන් මාසයකට රුපියල් බිලියන 9.756 ක වර්ධනයක් වේ.
බැංකුව ලෙස ගත්විට කොමර්ෂල් බැංකුව විසින් සලකා බලන කාල සීමාව තුළදී බදු වලට පෙර රුපියල් බිලියන 10.046 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර එය 15.49% කින් පහළ යාමකි. මේ අතර, ශුද්ධ ලාභය රුපියල් බිලියන 6.466 ක්වී තිබෙන අතර එය 2018 පළමු අර්ධයට සාපේක්ෂව 19.83% ක පහළ වැටීමක් බව බැංකුව සඳහන් කරයි.
අනිකුත් ප‍්‍රධාන දර්ශක සලකා බැලීමේදී 2019 දෙවන කාර්තුව අවසන් වනවිට බැංකුවේ කොටසකට අදාළ ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් 120.80 ක්වූ අතර එය 2019 පළමු කාර්තුවට සාපේක්ෂව 4.1% ක වර්ධනයකි. මේ අතර, වත්කම්වල ප‍්‍රතිලාභ අනුපාතය (බදු වලට පෙර) සහ කොටස්වල ප‍්‍රතිලාභ අනුපාතය 2019 පළමු කාර්තුවේ පිළිවෙලින් වූ 1.48% සහ 10.32% කට සාපේක්ෂව 2019 දෙවන කාර්තුවේදී 1.53% ක් සහ 10.75% ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2019 මාර්තු 31 වනදා වනවිට බැංකුවේ තිබූ 4.14% ක්වූ දළ අක‍්‍රීය ණය අනුපාතය 2019 ජුනි 30 වනදා වනවිට 4.86% ක් දක්වා වර්ධනය වූ බව බැංකුව සඳහන් කරයි. මේ අතර, මෙම කාලයේදී බැංකුවේ ශුද්ධ අක‍්‍රීය ණය අනුපාතය 2.47% ක සිට 2.96% ක් දක්වා වර්ධනය වී ඇත.
2019 ජුනි 30 වනදා වනවිට බැංකුවේ පළමු පෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 12.467% ක් වන අතර එය බාසල් III යටතේ 2019 ජනවාරි 01 වනදා සිට ක‍්‍රියාත්මක වූ 10% ක අවශ්‍යතාවයට වඩා වඩාත් වැඩි ප‍්‍රමාණයකි. එසේම, මෙම කාල පරිච්ඡේදය තුළ බැංකුවේ සමස්ත ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 16.578% ක්වී තිබෙන අතර එයද බාසල් III අවශ්‍යතාවය වන 14% මට්ටම ඉක්මවා තිබේ.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 846 ක් සහ බැංකු ශාඛා 266 ක් පවත්වාගෙන යයි. 2016 සහ 2017 යන වසර වලදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.
Video Story