අයවැය යෝජනා සම්බන්ධයෙන් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති සිය සතුට පළකරයි

    November, 19, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2020 නොවැම්බර් මස 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සිය සතුට පළකරයි.

    මෙම යෝජනා අතර ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය කිරීම සඳහා පියවර කිහිපයක් ඇතුළත් වේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් 2020 ජූලි 31 වන දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නීති මගින් හඳුන්වා දුන් ශ්‍රී ලංකා දේපල වෙළෙඳාම් ආයෝජන භාර (REITS) ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රචලිත කිරීම සඳහා දිරිගැන්වීමක් ලෙස, අය වැය යෝජනා වල සඳහන් පරිදි REITS වල ආයෝජන ප්‍රාග්ධන ලාභ බදුවලින් සහ ලාභාංශ ආදායම් බදුවලින් නිදහස් කර ඇත. තවද, මුද්දර බද්ද 0.75% දක්වා අඩු කිරීමට නියමිත අතර කර්මාන්තයේ නියැළී සිටින පාර්ශවකරුවන් විසින් එම මුද්දර බද්ද ශ්‍රී ලංකා දේපොළ ආයෝජන භාර  පිහිටුවීමට බාධාවක් ලෙස වටහාගෙන තිබුණි. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විශ්වාස කරනුයේ මෙම යෝජනාව මගින් රට තුළ දේපොළ ආයෝජන භාර  ස්ථාපිත  කිරීමට විශාල රුකුලක් වනු ඇති බවයි.

    මීට අමතරව, කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) තුළ දේශීය සමාගම්වල නව ලැයිස්තුගත කිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා 2021 දෙසැම්බර් 31 ට පෙර ලැයිස්තුගත කෙරෙන සමාගම් වලට  2021/2022 වසර සඳහා 50% ක බදු සහනයක් ලබාදීම වැනි ඇතැම් ප්‍රධාන යෝජනා රජය විසින් ඉදිරිපත් කර ඇත. පසුගිය වසර කිහිපය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත වු සමාගම් සංඛ්‍යාවෙහි ඉහළයාමක් දක්නට නොලැබුණු අතර වෙළෙඳපොළ ද්‍රවශීලතාවය පහළ මට්ටමක පැවතීමට හා සාපේක්ෂව විශාලත්වය කුඩා අගයක් ගැනීමට  එය හේතු වී ඇත. මෙම නව යෝජනාව නව ලැයිස්තුගත කිරීම් සඳහා පෙළඹවීමක් වනු ඇත.

    ප්‍රාග්ධනය භාවිතා කරන්නන් මෙන්ම ප්‍රාග්ධනය සපයන්නන් යන දෙපාර්ශවයටම ප්‍රයෝජනවත් විය හැකි ශක්තිමත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් ඇති කිරීමට අවකාශ සැළසෙන මෙම ක්‍රියාකාරකම්වලට මුලිකත්වය ගෙන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව නියෝජනය කරමින් ඉදිරිපත් කළ යෝජනා සැළකිල්ලට ගැනීම සම්බන්ධයෙන්  අතිගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යතුමාට,  ගරු මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍යතුමාට, අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම්තුමාට හා භාණ්ඩාගාර ලේකම් තුමාටත් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ ස්තුතිය පුද කිරීමට කැමෙත්තෙමු.  මෙම උත්සාහයන් තුළින්  වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තවදුරටත් පුළුල් වන අතර ශ්‍රී ලංකාවේ සමාගම් වලට අවශ්‍ය ප්‍රාග්ධනය රැස්කර ගැනීමටත් අවස්ථාව සැළසෙනු ඇති බව නිසැකවම කිව හැකිය.

    කොළඹ කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් 2019 ට සාපේක්ෂව සමස්ත වෙළෙඳපොළ පිරිවැටුමේ 80% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර දෛනික සාමාන්‍ය පිරිවැටුම ද දෙගුණ වී තිබේ. සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපතිතුමා අදහස් දක්වමින්, “2020 සැප්තැම්බර් මාසයේදී කොටස් වෙළෙඳපොළ  ඩිජිටල්කරණය කිරීම සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් වෙළෙඳපොළ නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුව ගත් පියවර නිසා රටේ වර්තමාන තත්ත්වය මධ්‍යයේ කොටස් වෙළෙඳපොළ බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමට හැකි වී තිබේ. වෙළෙඳපොළ  පුර්ණ වශයෙන් ඩිජිටල්කරණයට පහසුකම් සැලසීම සඳහා ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ප්‍රාග්ධන වෙළෙඳපොළ කර්මාන්තයේ නියුතු සියලුම පාර්ශවකරුවන්ට, විශේෂයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට සහ කොටස් තැරැව්කාර ප්‍රජාවට මාගේ අවංක කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි„