අර්බුදයට පත් මූල්‍ය සමාගම්වල රැකියා අහිමි වූ සේවකයින් ගැන මහ බැංකුවේ ස්ථාවරය මෙන්න

    July, 13, 2020

    “මූලික වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම වන්නේ මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම මිස එම සමාගම්වල සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම නොවේ“, යනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී, අර්බුදයට පත් මූල්‍ය ආයතනවල සේවය කර රැකියා අහිමි වූ සේවකයින් සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්දැයි යනුවෙන් මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    “මූලික වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වගකීම වන්නේ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම මිස එම සමාගම්වල සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කිරීම නොවේ. සමාගමට සේවකයින් බඳවා ගැනීම හෝ ඉවත් කිරීම එම සමාගම්වල ව්‍යාපාරික තීරණයක්. මූල්‍ය නීති පනත අනුව හෝ වෙනත් නීති අනුව සමාගම්වල සේවකයින් ආරක්ෂා කිරීම මහ බැංකුවේ වගකීමක් නොවෙයි.“

    පසුගිය කාලයේ දී ඇති වූ අර්බුදකාරීත්වයන් හේතුවෙන් ‘ද ෆිනෑන්ස්‘ මූල්‍ය සමාගම ඇතුළු මූල්‍ය සමාගම් කිහිපයක්ම මේ වන විට වසා දමා තිබෙන අතර මහ බැංකුවේ නිර්දේශය පරිදි ඒවායේ තැන්පත්කරුවන් හට මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් යෝජනා ක්‍රම කිහිපයක් දියත් කර ඇත. කෙසේවෙතත් මේවායේ සේවය කළ සේවකයින් හට සමාගම් වසා දමන අවස්ථාවේ දී කිසිදු සාධාරණයක් සිදු නොවූ බව ඒවායේ වෘත්තීය සමිති නිරන්තරයෙන් කියා සිටී.

    ඡායාරූපය - 2020 ජූලි 09 දින පැවති මාධ්‍ය හමුව