අර්බුද හමුවේ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් ක්ෂේත්‍රය රැක ගැනීමට නම් රට තුළට ආනයනය කරන ඇඟළුම් ප්‍රමාණය 80%කින් වත් අවම කර ගත යුතුයි

    August, 7, 2023

    බන්දුල ප්‍රනාන්දු සභාපති ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන මණ්ඩලය ( SLCGE)

    ඇමරිකාව හා යුරෝපයේ පවතින ආර්ථික අර්බුද හමුවේ මෙරට ඇඟළුම් කර්මාන්තය හා එයින් උපයන විදේශ විනිමය සැලකියයුතු මට්ටමකින් අඩු වී ඇති පසුබිමක, විශාල ඇඟළුම් කර්මාන්තශාලාවන් හි අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා අමිල වූ දායකත්වයක් දක්වන මෙරට ඇඟළුම් ආශ්‍රිත සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තයන් යුරෝපා සහ ඇමරිකානු ආර්ථික අර්බුදයන් හේතුවෙන් මතුව තිබෙන ඇඟලුම් ඇනවුම් අඩු කිරීමේ තීරණයන් හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇත. මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන මණ්ඩලයේ සභාපති බන්දුල ප්‍රනාන්දු මහතා පවසා සිටින්නේ, මේ අවස්ථාවේදී ඇඟළුම් ආශ්‍රිත සුලු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට නම් රජය නොපමාව ඇඟළුම් ආනයනය 80%කින් වත් අඩු කළ යුතු බවයි. මෙරට ඇඟළුම් අවශ්‍යතාවෙන් 60%ක් ආනයනය කෙරෙන අතර දේශීයව නිෂ්පාදනය කෙරෙන ඇඟළුම්වලින් 40ක් දේශීය අවශ්‍යතාව සපුරාල බවයි. එහෙත් මෙම අනුපාතය 20%ක් හා 80%ක් බවට පත් කිරීම තුළින් සුලු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයින්ට වසර පුරාම ව්‍යාපාර පවත්වාගෙන යෑමට හා සේවකයින්ගේ රැකියා සුරක්ෂිතබව ආරක්ෂා කර ගැනීමටත් මෙම පියවර මහෝපකාරී වන බවයි. එමෙන්ම මෙම පියවර තුළින් රටේ පවතින විදේශ විනිමය රට තුළම ඉතිරි කර ගැනීමට හැකි වන බව ඔහු අවධාරණය කරයි.

    ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන මණ්ඩලය මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් අපනයන සමාගම් නියෝජනය කරන ප්‍රමුඛතම සංගමය වන අතර මෙම සංගමය ඒකබද්ධ ඇඟලුම් සංසද සම්ලේනයේ සමාජිකත්වය දරයි. මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් සමාගම් ලෙස සැලකෙන වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 700කට අධික සහ මහණ මැෂින් සංඛ්‍යාව 50 සිට 500 දක්වා අයත් වන ඇඟලුම් සමාගම් මෙම සංගමයේ සාමාජිකයින් ලෙස සැලකේ. දැනට මෙහි සක්‍රීය සාමාජික සංඛ්‍යාව 85ක් වන අතර ඉන් සමාගම් 15ක් සෘජුව ඇඟලුම් අපනයනය කර අතර සෙසු සමාගම් මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟළුම් සමාගම්වල උප කොන්ත්‍රාතු සිදුකරයි. වසර 25කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන මණ්ඩලය ඇමරිකාව හා යුරෝපා ආර්ථිකය හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය පත්ව ඇති අර්බුදයන් ජය ගැනීම සඳහා පවතින විකල්පයන් වෙත රජයේ සහාය ලබා ගැනීම සඳහා සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙන අතර රුසියාව, බ්‍රසීලය සහ දකුණු කොරියාව වැනි නව වෙළෙඳපොළ වෙත යොමු වීමේ ශක්‍යතාවන් සොයා බලමින් සිටී. ශ්‍රී ලංකාවේ සුලු හා මධ්‍ය පරිමාණයේ ඇඟළුම් කර්මාන්තය විසින් මෙරට ඇඟළුම් අපනයන ආදායමෙන් 30%ක දායකත්වයක් දක්වන අතර ඇඟළුම් ක්ෂේත්‍රයේ සේවා නියුක්තියට සෘජු රැකියා 35,000 ක් සහ, වක්‍ර රැකියා 25,OOO කින් පමණ දායක වී ඇත.

    විදේශ ඇනවුම් ගැටලුවට අමතරව රජය විසින් මෑතකදී සිදුකළ සරල කළ වැට් බදු ක්‍රමය (වැටි බද්ද ආපසු ගෙවීම) අහෝසි කිරීම හමුවේ මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟළුම් කර්මාන්ත හිමියන් කබලෙන් ලිපට වැටී සිටින බව බන්දුල ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් පවසා සිටී. අපනයනකරුවන්ට වැට්බදු යලි ගෙවීම ( VAT refund) හෙවත් සරළ කරන ලද වැට් බදු ක්‍රමය හේතුවෙන් අපනයන ක්ෂේත්‍රයේ විශාල දිරිගැන්විමක් තිබුණු නමුදු මෙම ක්‍රමය ඉවත් කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟළුම් සමාගම් දැඩි මුදල් ප්‍රවාහය කළමණාකරනය කර ගැනීමේ ගැටලුවකට මිහිණ දෙන අතර මේ තත්වය හමුවේ දැඩිව අසරණ වීමට සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟළුම් කර්මාන්තකරුවන්ට සිදු වේ. එමෙන්ම ආනයනික අමුද්‍රව්‍ය දේශීය වෙළෙඳපොළෙන් මුදල් ගෙවා ලබා ගන්නා අවස්ථාවේදී එම අමුද්‍රව්‍ය සඳහාත් වැට් බදු ගෙවිය යුතු අතර ඊට සාපේක්ෂව ගෙවීම් නිසි අවස්ථාවේදී නොලැබීමෙන් සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ද දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙන බව ඔහු සඳහන් කරයි.

    “GSP + සහනය තවක් වසර 4කින් දීර්ඝ කිරීම මේ අවස්ථාවේදී දැඩි අර්බුදයකට ලක්වන සිටින ඇඟළුම් කර්මාන්තයේ පැවැත්මට විශාල අසවැසිල්ලක්. නමුත් මේ සමගම අපි මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැනට ශ්‍රී ලංකාව චීනය හා ඉන්දියාව සමග එළැඹී ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු වෙනවා. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම යළි සමාලෝචනය කිරීම අත්‍යවශ්‍ය වන අතර දැනට පවතින ඇඟළුම් ඒකක මිලියන 8ක කොටස අවම වශයෙන් මිලියන 30ක්වත් සිදු කර ගත යුතු අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින වෙළෙඳ පරතරය යම් පමණකින් හෝ අඩු කර ගත යුතුවෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව චීනය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට අදාළව අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම් ප්‍රකාර කටයුතු මීට වඩා සක්‍රීය තත්වයකට පත් කිරීම තුළින් චීනය නම් වූ විශාල වෙළෙඳපොළට ඇතුළු වීමට ශ්‍රී ලාංකීය සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟළුම් නිෂ්පාදකයින්ට ද අවස්ථාව උදාවන බව මගේ අදහසයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දැක්වීය.