අවුරුදු 4ට ලංකාවේ ලක්ෂ 40ක් අලුතින් දුප්පත් වෙලා – සමීක්ෂණයකින් හෙළිවෙයි

    June, 12, 2023

    LIRNEasia නම් කලාපීය චින්තන පර්ෂදය විසින් මෑතකදී සිදු කරන ලද ජාතික නියෝජිත (ශ්රී ලංකාවම නියෝජනය වන පරිදි කරන ලද) සමීක්ෂණයකින් පෙන්නුම් කළේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ශ්‍රි ලාංකීය ජනගහනය මිලියන 4කින් වැඩි වී ඇති බවයි. 2019 දී ශ්රී ලාංකිකයින් මිලියන 3ක් දරිද්රතාවයෙන් පෙළුනු අතර, දැන් (2023) එය මිලියන 7ක් (ජනගහනයෙන් 31%) බවට පත් වී ඇත.

    2023 සමීක්ෂණයට අනුව දරිද්රතා රේඛාවට පහළින් ජීවත් වන අයගෙන් 81% ක් ග්රාමීය ප්රදේශ වල ජීවත් වේ. 2019 සිට ග්රාමීය දරිද්රතාවය දෙගුණ (15% සිට 32% දක්වා) වී තිබෙන අතර, නාගරික දරිද්රතාවය තෙගුණ (6% සිට 18% දක්වා) වී ඇත. දිගින් දිගටම නරකම තත්ත්වයට දෙන්නේ වතු ප්රජාවයි - ඔවුන්ගෙන් අඩකට වඩා වැඩි ප්රතිශතයක් දරිද්රතාවයේ ජීවත් වෙති.

    මේ අතර, පවතින සමාජ ආධාර වැඩසටහන් සමාජයේ දුප්පත්ම ජනතාව වෙත ළඟා වීමට අපොහොසත් වී ඇති බව ද සමීක්ෂණය මගින් හෙළිදරව් විය. දුප්පත් කමින් වැඩිම නිවාස දහයෙන් පංගුවෙන් 31%ක් පමණක් සමෘද්ධිය ලබන අතර ධනවත් කමින් වැඩිම නිවාස දහයෙන් පංගුවෙන් 4%ක් ද සමෘද්ධිය ලබති.

    2023 ජුනි මස 7 වැනි බදාදා දින LIRNEasia විසින් සංවිධානය කරන ලද වැඩසටහනකදී මෙම සොයාගැනීම් බෙදා ගන්නා ලදී. එහිදී මුදල් රාජ්ය අමාත්ය ගරු ෂෙහාන් සේමසිංහ මහතා විසින් ප්රධාන දේශනය පවත්වන ලදී. මෙහිදී පවත්වන ලද විද්වත් සාකච්ඡාවට බී. විජයරත්න (සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති), කරින් ප්රනාන්දු (කණ්ඩායම් නායකතිරසාර සංවර්ධනය, CEPA), ගයනි හුරුල්ලේ (ජ්යෙෂ්ඨ පර්යේෂණ කළමණාකරු, LIRNEasia) සහ තාරක අමරසිංහ (සංඛ්යානඥ, LIRNEasia) යන මහත්ම මහත්මීහු සහභාගි වූ අතර ධනනාත් ප්රනාන්දු මහතා (ප්රධාන විධායක නිලධාරී, Advocata Institute) විසින් සාකච්ඡාව මෙහෙයවන ලදී.

    LIRNEasia ආයතනයේ ගයනි හුරුල්ලේ අදහස් දක්වමින් පවසා සිටියේ “මෙතරම් කෙටි කාලයක් තුළ තවත් ශ්‍රී ලාංකිකයන් මිලියන 4ක් දරිද්රතාවයට ඇදවැටී තිබීම කණගාටුවට කරුණකි. එක් දරුවෙකුගේ අධ්‍යාපනයට අනෙක් දරුවාට වඩා ප්රමුඛත්වය දීමට පවුල්වලට සිදුවී ඇත. අපට හමු වූ බොහෝ දෙමාපියන් තම දරුවන්ට සමබර ආහාර වේලක් ලබා දීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්හ. සමාජ ආරක්ෂණ ජාල සඳහා ප්‍රමාණවත් ලෙස වියදම් කිරීමෙන් රට මෙම අභියෝගාත්මක සමයේදී අවදානමට ලක් වූවන් ආරක්ෂා කළ යුතුය. සමාජ ආරක්ෂණ ජාල සඳහා ප්රමාණවත් ප්රතිපාදන වෙන් කිරීම පමණක් නොව, වෙන් කරන අරමුදල් කාර්යක්ෂමව භාවිතා කිරීම ද අවශ්ය වේයන්නයි.

    සමීක්ෂණය පිළිබඳව

    ජාතික වශයෙන් නියෝජිත, එනම්, ශ්රී ලංකාවම නියෝජනය වන පරිදි, නිවාස 10,000 කට වැඩි සාම්පලයක් ඇසුරෙන් සමීක්ෂණය පවත්වන ලදී. මෙම සමීක්ෂණය 2022 ඔක්තෝබර් සහ 2023 මාර්තු යන කාලය අතර, ග්රාම නිලධාරී වසම් 400ක් පුරා පවත්වන ලදී. ජාතික මට්ටමේ ඇස්තමේන්තු, 95% විශ්වාසනීයත්වයකින් යුතුව, +/-1.4% දෝෂ පරාසයක් තුළ සිදු කළ හැක. මීට අමතරව, දිස්ත්රික්ක 13ක් පුරා පුද්ගලයන් 400කට අධික සංඛ්යාවක් සමඟ, ප්රධාන තොරතුරු සපයන්නන් සමඟ සම්මුඛ සාකච්ඡා, කණ්ඩායම් සාකච්ඡා, තනි පුද්ගල සම්මුඛ සාකච්ඡා සහ නිරීක්ෂණ ආකාරයෙන් ගුණාත්මක පර්යේෂණ සිදු කරන ලදී. කැනඩාවේ ඔටාවා හි ජාත්යන්තර සංවර්ධන පර්යේෂණ මධ්යස්ථානයේ ප්රදානයක් ආධාරයෙන් මෙම කාර්යය සිදු කරන ලදී.