අළුත් අයවැයෙන් ආදායම් හිඟය බිලියන 149 කින් ඉහළට

    January, 29, 2015

    නව රජය විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු අයවැය මගින් අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 4.4 ක් දක්වා අඩුකිරීමට සැලසුම් කර තිබුණත් ආදායම් හිඟය (revenue deficit) රුපියල් බිලියන 149 කින් වැඩිකර තිබීම කැපී පෙනෙන කරුණකි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ 2015 වෙනුවෙන් අයකර ගැනීමට බලාපොරොත්තු වන සමස්ත ආදායම පසුගිය රජය විසින් ඇස්තමේන්තු කර තිබූ රුපියල් බිලියන 1,689 ක් වන ආදායමට සාපේක්ෂව රුපියල් බිලියන 1,622 ක් දක්වා අඩුවනු ඇති බවත් පාරිභෝගික භාණ්ඩ රැසක් වෙත බදු සහන ලබාදීම මෙයට හේතුව බවයි.

    රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා විශ්‍රාම වැටුප් වැඩිකිරීම හේතුවෙන් මෙම අතුරු අයවැය මගින් වර්තන වියදම් (Current spending) රුපියල් බිලියන 1,525 ක සිට රුපියල් බිලියන 1,612 ක් දක්වා වර්ධනය වී ඇති අතර මුදල් අමාත්‍යවරයා පැවසුවේ රජයේ සේවකයින්ගේ වැටුප ඉතිහාසයේ වැඩිම වැඩි කිරීම මෙය බවයි.

    මෙම අයවැය මගින් ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 521 ක සිට රුපියල් බිලියන 499 ක් දක්වා අඩුකර තිබෙන අතර මේ ආකාරයෙන් පසුගිය ආණ්ඩුව ඉදිරිපත් කර තිබූ සියයට 4.4 ක අයවැය හිඟය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ඇත.

    මාසික මුදල් ගෙවීම් වලට අදාළ වන ආදායම් හිඟය වැඩිවීම (revenue deficit) ආර්ථික ස්ථායිතාවයට සහ විනිමය අනුපාතයට අහිතකර ලෙස බලපෑමේ වැඩි ඉඩකඩක් තිබෙන බව මෙහිදී පෙනෙන කරුණකි.

    විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉතාමත් ඉක්මනින් පොලී අනුපාතය වැඩි නොකර මෙම ආදායම් හිඟය බැංකු ණය මගින් පියවා ගන්නේ නම් විනිමය අනුපාතය දුර්වල වීමටත් විදේශ සංචිතය අඩුවීමටත් එය හේතුවක් විය හැකි බවයි.

    රුපියල් බිලියන 2000 කට වැඩියෙන් ලාභ ලැබූ සමාගම් මත සියයට 25 ක බද්දක් අයකිරීම, දුරකතන සමාගම් සහ කැසිනෝ මත විශාල බදු අය කිරීම වැනි ආදායම් යෝජනා මගින් වැඩි බදු මුදලක් රැස්කර ගැනීමේ හැකියාව තිබුණත් පසුගිය රජයට සම්බන්ධ ක්‍රීඩා නාලිකාව මත පනවා තිබෙන රුපියල් බිලියනයක බදු මුදල එකතු කර ගැනීම අපහසු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන තවත් කාරණාවකි.

    මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවගෙන් අයකර ගන්නා බදු දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 14.4 ක සිට සියයට 14.1 ක් දක්වා මෙවර අඩුකර තිබෙන බවයි.