අළුත් තීරණයෙන් පසු රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙයි

    September, 4, 2015

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව අද සිට නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමත් සමග මුදල් වෙළඳ පොළේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වී තිබේ.

    මේ අනුව, අද දිනයේ එක් අවස්ථාවක ඩොලරයක මිල රුපියල් 139 ක් දක්වා ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 03 කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී ඩොලරයක මිල රුපියල් 134.75 ක් විය. කෙසේවෙතත්, අද දිනයේ ගනුදෙනු අවසානයේදී ඩොලරයක මිල රුපියල් 138 කට ආසන්න මිලක් දක්වා යථාතත්ත්යට පත්වී තිබේ.

    මුදල් වෙළෙඳුන් සඳහන් කරන්නේ අද උදෑසන ගනුදෙනු ආරම්භ කරන විට ඩොලරයක මිල රුපියල් 136.50 ක් වූ බවයි.

    අද දිනයේ මුදල් වෙළඳ පොළේ වැඩිම ගනුදෙනු ප්‍රමාණයක් සිදුවී තිබෙන්නේ ඩොලරයක මිල රුපියල් 138 ක මට්ටමකදීයි.

    අද දිනය පුරාම ඉල්ලුම සහ සැපයුම යන වෙළඳ පොළ බලවේග වලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වූ බව මුදල් වෙළෙඳුන් වැඩිදුරටත් සඳහන් කරයි.

    මහ බැංකුව විසින් අවශ්‍ය අවස්ථාවකදී හැර විදේශ විනිමය වෙළඳ පොළට කරන මැදිහත්වීම අද සිට නතර කර තිබේ.

    චීනය විසින් අගෝස්තු 11 වනදා යුවාන් මුදල් ඒකකය අවප්‍රමාණය කළදා පටන් මේ දක්වා ඉන්දියානු රුපියල සියයට 3.9 කින්ද, මැලේසියානු රින්ගිට් මුදල් ඒකකය සියයට 08 කින්ද, ඉන්දුනීසියානු රුපියා මුදල් ඒකකය සියයට 4.5 කින්ද අවප්‍රමාණය වී ඇත.