ආචාර්ය හර්ෂ ද සිල්වා වියට්නාම ආයෝජකයින් හමුවෙයි

    January, 31, 2016

    ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ අත්කර දීමට කැපවී සිටින විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වියට්නාමයේ සිදුකළ සංචාරය සාර්ථකව අවසන් කළ අතර එහිදී එරට රජයේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කරන ඉහළ පෙළේ නියෝජිතයින්ට සහ වියට්නාමයේ ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව පැහැදිලි කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන ලදී.

    වඩාත් වේගයෙන් වර්ධනය වන රටක් වශයෙන් ලෝකයේ කැපී පෙනෙන වියට්නාමයට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකළ සංචාරය වැදගත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ඉහළ මට්ටමේ රාජ්‍ය නියෝජිතයෙකු වියට්නාමයේ සිදුකළ පළමු සංචාරය මෙය වීම නිසයි.

    මෙම සංචාරයේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වියට්නාමයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලී හොඅයිට්‍රන්ග් (Le HoaiTrung) මහතා සහ එරට කර්මාන්ත සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය ඩූ තන්ග් හයි (Do Thang Hai) මහතා සමග සාකච්ඡා සිදුකළේය. මීට අමතරව, වියට්නාමයේ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන විදේශ ආයෝජන නියෝජිතායතනයේ (Foreign Investment Agency) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩෑන්ග් සුආන් ක්වැන්ග් (Dang Xuan Quang) මහතා සමගද නියෝජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා කළේය.

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම සංචාරයේදී වියට්නාමයේ රජයේ නියෝජිතයින් සමග ද්විපාර්ශවික ආර්ථික සහයෝගීතාවය තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳවත් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආයෝජන කැඳවා ගැනීම පිළිබඳවත් ඵලදායී සාකච්ඡා සිදුකරන ලදී.

    එරට නියෝජ්‍ය කර්මාන්ත හා වෙළඳ අමාත්‍යවරයා සමග සිදුකළ සාකච්ඡාවේදී සංචාරක කර්මාන්තය, වෙළඳාම සහ ආයෝජනය සම්බන්ධයෙන් දෙරට අතර තිබෙන සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරුණි. මෙහිදී, වියට්නාමයේ ආයෝජකයින්ට ලංකාවේ ආයෝජනය කිරීමට පැමිණෙන ලෙස විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ආරාධනා කළේය.

    මේ අතර, වියට්නාමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් වියට්නාම ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සලය (Sri Lanka Business Council in Viet Nam) එළිදැක්වීමේ උත්සව අවස්ථාවට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහභාගී වූ අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා රැස්ව සිටි ආයෝජකයින්, ව්‍යාපාරික නායකයින් සහ වෘත්තිකයින් අමතා ශ්‍රී ලංකාවේ ආයෝජනයට තිබෙන අවස්ථාවන් පිළිබඳව පැහැදිලි කරන ලදී. මෙම සංචාරයේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාස් හෝල්ඩින්ග්ස් (MAS Holdings) සමාගම විසින් වියට්නාමයේ ගොඩනගන ලද ලීනියා ඇක්වා (Linea Aqua) කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සව අවස්ථාවටද සහභාගී විය.

    මෙම කර්මාන්ත ශාලාව විවෘත කර තිබෙන්නේ හැනෝයි නගරයට නුදුරිනි.

    විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකේය සමාගම් 14 ක් වියට්නාමය තුළ මේ වනවිට ඩොලර් මිලියන 76.5 ක පමණ මුදලක් ආයෝජනය කර තිබෙන බවයි.

    රජය විසින් ශ්‍රී ලංකාව තුළ ගොඩනගන වඩාත් සාධාරණ තරගකාරී සමාජ වෙළඳ පොළ ආර්ථිකය තුළ බොහෝ වියට්නාම ආයෝජකයින්ට ලංකාවේ ආයෝජන අවස්ථාවන් විවෘත වනු ඇතැයි මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේය.