• 2022
  • ආදායම් බදු
  • බිලියන
  • මුදල් අමාත්‍යාංශය
  • ශ්‍රී ලංකා

ආණ්ඩුවේ ආදායම් බදු ආදායම ඩබල් වෙලා

November, 21, 2022

රජයේ ආදායම් බදු ආදායම දෙගුණ වී ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ.

ඊට අනුව ආදායම් බදු ආදායම, 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රු. බිලියන 209.5 සිට 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 431.8 දක්වා සියයට 106.1 කින් වැඩි වී තිබේ.

මෙම වාර්තාවෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

රජයේ සමස්ත ආදායම 2021 වසරේ පළමු මාස නවය තුළ වාර්තා වූ රු. බිලියන 1,050.8 ට සාපේක්ෂව, 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 1,448.5 ක් දක්වා සියයට 37.9 කින් සැළකිය යුතු ලෙස වැඩි විය. 2022 වසරේ පළමු මාස නවය තුළ රැස් කරන ලද ආදායම, සංශෝධිත ආදායම ඇස්තමේන්තුවෙන් සියයට 69.5 ක ළඟා කර ගැනීමකි.

මෙලෙස ආදායම වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ, බදු ආදායම 2021 වසරේ පළමු මාස නවය තුළ වාර්තා වූ රු. බිලියන 951.8 ට සාපේක්ෂව, 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 1,283.4 දක්වා සියයට 34.8 කින් වැඩි වීමයි.

බදු ආදායම, සමස්ත ආදායම සඳහා සියයට 88.6 ක දායකත්වයක් දැක්වූ අතර 2022 වසර සඳහා සංශෝධිත ඇස්තමේන්තුවෙන් සියයට 69.3 ක ළඟා කර ගැනීමකි.

ආදායම් බදු ආදායම, 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රු. බිලියන 209.5 සිට 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 431.8 දක්වා සියයට 106.1 කින් වැඩි විය. තාවකාලික පියවරක් ලෙස ආදායම වැඩි කිරීම සඳහා එක් වරක් අය කරනු ලබන බද්දක් ලෙස, 2020/21 තක්සේරු වර්ෂය සඳහා බදු අය කළ හැකි ආදායම රු. මිලියන 2,000 ඉක්මවන ලද පුද්ගලයන්ගෙන් සහ සමාගම් වලින් අය කරන ලද සියයට 25 ක් වූ අධිභාර බද්දෙන් ලැබූ රු. බිලියන 120.7 මේ සඳහා සැළකිය යුතු ලෙස හේතු විය. මෙයට අමතරව, පුද්ගල හා සංස්ථාපිත බදු වලින් එකතු කරන ලද ආදායම පිළිවෙළින් සියයට 16.4 කින් සහ සියයට 46.1 කින් වර්ධනය විය.

තවද, එකතු කළ අගය මත බද්ද, සුරා බද්ද, දුම්වැටි මත නිෂ්පාදන බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද යන බදුවලින් ලද ආදායම පිළිවෙළින් සියයට 38.6 කින්, සියයට 32.2 කින්, සියයට 32.6 කින් සහ සියයට 18.7 කින් වැඩි විය.

සමස්ත ආදායමට සියයට 11.4 ක දායකත්වයක් ලබා දෙමින්, බදු නොවන ආදායම, 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රු. බිලියන 99.0 සිට 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 165.1 ක් දක්වා සියයට 66.8 කින් වැඩි විය. මෙය 2022 වසර සඳහා සංශෝධිත ඇස්තමේන්තුවෙන් සියයට 71.2 ක ළඟා කර ගැනීමකි.

විකුණුම් හා ගාස්තු වලින් ලද ආදායම, 2022 වසරේ පළමු මාස නවය තුළ රු. බිලියන 56.8 ක් දක්වා සියයට 214.6 කින් සැළකිය යුතු ලෙස වැඩි වුණු අතර, මහ බැංකුවේ ලාභ පැවරුම්වලින් ලද ආදායම රු. බිලියන 30.0 ක් විය. කුලී ආදායම සියයට 38.6 කින් රු. බිලියන 4.7 දක්වා ද, ලාභ හා ලාභාංශ මඟින් ලද ආදායම සියයට 17.0 කින් රු. බිලියන 18.9 දක්වා ද, සමාජ ආරක්ෂණ දායකත්වයන් මඟින් ලද ආදායම සියයට 9.6 කින් රු. බිලියන 27.7 දක්වා ද, පොළී ආදායම සියයට 7.6 කින් රු. බිලියන 4.6 දක්වා ද, වෙනත් බදු නොවන ආදායම් මාර්ගවලින් ලද ආදායම සියයට 33.0 කින් රු. බිලියන 22.4 දක්වා ද වශයෙන් අනෙකුත් බදු නොවන ආදායම් මාර්ගවලින් ලද ආදායම ද වැඩි විය.