ආදායමට සමගාමීව දුම්වැටි මිල වැඩි වේවි

    September, 19, 2017

    ඉදිරියේ දී ඒක පුද්ගල දළ දේශීය ආදායම වැඩිවන ප්‍රතිශතයටම දුම්වැටිවල මිල වැඩි වීමට හැකි බව වෙරිටේ පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මෙල් මහතා පැවසීය.

    අද (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති දුම්කොළ, බදු හා මිල නියම කිරීමේ නියෝග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගිවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව ඉදිරියේ දී දුම්වැටිවල මිල වැඩි කිරීමක් නොකරන අතර බදුවල වැඩිකිරීමක් සිදු කෙරේ. එහිදී මිල අඩු දුම්වැටිවල මිල වැඩි බදු ප්‍රතිශතයකින් ද මිල වැඩි දුම්වැටියක මිල අඩු බදු ප්‍රතිශතයකින් ද වැඩිවීමට හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.

    දුම්වැටි ඉල්ලුම අඩුකිරීම සඳහා මිල වැඩි කිරීම ගත හැකි හොඳම පියවර වන බවත් 2016 දී දුම්වැටි සඳහා බදු එකතු කිරීමෙන් පසුගිය වර්ෂයට සාපේක්ෂව සිගරට් පරිභෝජනය 20%කින් පමණ අඩු වී ඇති අතර ම රජයේ ආදායම 20%කින් වැඩි වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

    මෙම අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රජා දන්ත වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ මහතා ප්‍රකාශ කළේ ලංකාවේ දුම්කොළ හා දුම්කොළවල ආදීනව නිසා වාර්ෂික ව පුද්ගලයින් 21, 000ක් පමණ මිය යන බවත් භාවිත කරන පුද්ගලයන්ගෙන් 50%ක් මිය යන එකම රසායනික ද්‍රව්‍ය දුම්කොළ බවත්ය.

    2015 වර්ෂයේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා නාටා ආයතනය සහ වෛද්‍ය සභාව පැවැත්වූ සමීක්ෂණයකින් දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය නිසා රුපියල් බිලියන 209.03 ක් රටට අහිමි ව ඇති බව අනාවරණය වී ඇතැයි ද වෛද්‍ය හේමන්ත අමරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මේ අවස්ථාවට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සහ බෝනොවන රෝග විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සහභාගි වූහ.