ආයතනික සෞඛ්‍ය ඵලදායිතා සම්මාන උළෙල සඳහා ayubo.life අනුග්‍රහය

    January, 25, 2019

    ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලය (COYLE) ජපාන බාහිර වෙළඳ සංවිධානය (JETRO) සමග අත්වැල් බැඳගනිමින් සංවිධාන කරන ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන 2019 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම ස්මාර්ට් සෞඛ්‍ය සහ සුවතා යෙදවුම වන ayubo.life අනුග්‍රහය හිමිවී තිබේ. ආයතනික සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා සිය විශේෂඥ දැනුම ලබාදීමට එම සමාගම මෙම සබඳතාව හරහා කටයුතු කරයි.

    මෙම සබඳතාව පිළිබඳ අදහස් පළ කරමින් ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලයේ සභාපති දිනුක් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, සෞඛ්‍යය සහ ඵලදායිතාව වෙනුවෙන් කටයුතු කරන ආයතන මහජන ඇගයුමට ලක්කිරීම සඳහා ගන්නා උත්සාහයේදී ayubo.life අප සමග අත්වැල් බැඳගනිම පිළිබඳ තමන් බෙහෙවින් සතුටු වන බවය. "ආයතනික සෞඛ්‍යය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකාවට නව්‍ය ක්‍රියාමාර්ග රැසක් අවශ්‍ය කරනවා. ayubo.life යනු ආයතනික වැඩසටහන් සහ සුවතා විශේෂඥයන් සමග සම්බන්ධ වීමටත් සුවතා වැඩසටහන් අනුගමනය කිරීමටත් අවස්ථාව ලබාදෙන එවැනි එක් නව්‍ය යෙදවුමකි. ඔවුන්ගේ විශේෂඥ දැනුම ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන 2019 සම්මාන උළෙල වඩාත් ශක්තිමත් කර ගැනීමට ඉවහල් වුණා"

    කාර්යමණ්ඩල සාමාජිකයන් සම්බන්ධ කර ගැනීම, ඔවුන් රඳවා තබා ගැනීම, ඵලදායිතාව සහ කාර්යසාධනය වැඩිදියුණු කිරීම හරහා වඩාත් යහපත් සහ ධනාත්මක චින්තනයෙන් යුතු ශ්‍රම බලකායක් ගොඩනගමින් ආයතනවල නිෂ්පාදන සහ පාරිභෝගික සේවාව ඉහළ මට්ටමට ගෙන ඒමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල ආරම්භ කෙරිණි.

    සෞඛ්‍ය සහ ඵලදායිතා කළමනාකරණ වැඩසටහන් සඳහා දිරිමත් කිරීමේ සහ ඒ පිළිබඳ දැනුවත් භාවය ඇතිකිරීමේ ඒකායන අරමුණින් යුතුව සාංගමික මට්ටමින් මෙරට ආයතනික ප්‍රජාව එක් වේදිකාවකට ගෙන ආ මෙරට ප්‍රථම උළෙල ලෙස මෙම සම්මාන උළෙල ඉතිහාසයට එක්වෙයි. ජපානයේ ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යංශය (METI) සහ ටෝකියෝ කොටස් වෙළඳපල (TSE) එක්ව සංවිධාන කළ "සෞඛ්‍ය සහ ඵලදායිතා ව්‍යාපාර වස්තු වරණය" වැඩසටහනට අනුව මෙම සම්මාන උළෙලේ සංකල්පය ගොඩනැගිණි.

    "සම්ප්‍රදායික සුවතා ආකෘති වලින් ඔබ්බට ගිය නව්‍ය සෞඛ්‍ය සහ සුවතා ආයතනික පරිසරය සඳහා අවශ්‍ය බව අප හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන 2018 සඳහා ප්‍රධාන සුවතා සහකරු ලෙස සම්බන්ධ වීමට අප කටයුතු කළේ එම දැක්ම අනුවයි. මෙම සම්මාන උළෙල ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලය සහ JETRO සංවිධානය ගත් විශිෂ්ට පියවරක් වන අතර ඒ සඳහා අපගේ දැනුම සහ සහයෝගය ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වනවා" යනුවෙන් ayubo.life ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය චමිලා ආරියනන්ද මහත්මිය සඳහන් කළාය.

    1999දී ස්ථාපනය කරන ලද ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලය (COYLE) පුළුල් ජාතික සහ ජාත්‍යන්තර ව්‍යාපාරික ජාලයකට හිමිකම් කියන මෙරට ඉහළ ම තරුණ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් ව්‍යාපාරික මණ්ඩලයකි. 'විශිෂ්ටත්වය තුළින් ඇගයීම' යන ආදර්ශ පාඨය පෙරදැරිව ප්‍රජාවට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා එම මණ්ඩලය රජයේ නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ ප්‍රජා සංවිධාන සමග සමීපව කටයුතු කරයි.

    JETRO යනු ජපානය සහ ලොව අනෙකුත් රාජ්‍යයන් අතර අන්‍යොන්‍ය වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන රජයට සම්බන්ධ ආයතනයකි. ජපාන අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා 1958 දී ස්ථාපනය කෙරුණු එම සංවිධානය 21 වන සියවසයේ පටන්, ජපානය සඳහා සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහ ජපානයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා උපරිම ගෝලීය අපනයන පරිසරයක් උදාකිරීමේ අරමුණින් කටයුතු කරයි.

    සෞඛ්‍යසම්පන්න දිවිපෙවෙතක් ගතකිරීමට අපේක්ෂා කරන සියලු දෙනා හට භාවිත කළ හැකි ලෙස නිර්මාණය කර ඇති පරිපූර්ණ සුවතා යෙදවුමක් වන ayubo.life යෙදවුම, විවිධ සෞඛ්‍ය සේවා සම්බන්ධ කිරීම, ව්‍යායාම පිළිබඳ වාර්තා කිරීම සහ අන්තර්ජාල සුවතා විසඳුම් ලබාදීම සඳහා සුවතා ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සම්බන්ධ වීම ඇතුළු පහසුකම් රැසක් පිරිනමයි. හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් අරමුදල් ලබාදෙන Digital Healthcare Solutions සමාගම ayubo.life යෙදවුමේ හිමිකාරිත්වය දරයි.