ආරම්භයේදී ආගන්තුකයන් වුවත්, අවසානයේ එකම පවුලක් වූ SLIIT මිතුරුදම

    July, 13, 2026

    “බ්‍රෝ” යනු SLIIT විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නිතරම පාහේ ඇසෙන වදනකි. අධ්‍යයන ශාලා, විදුලි පඩිපෙළ, ආපනශාලා මෙන්ම කොරිඩෝවන් ද සිසුන්ගේ සජීවී කතාබහෙන් නිරන්තරයෙන් දෝංකාර දෙයි. ඔවුන් එහිදී විවිධ ව්‍යාපෘති කටයුතු සාකච්ඡා කරති, තම වෙහෙස මහන්සිය හා නොසන්සුන්තාවයන් පවසති, නවතම සිනමාපට පිළිබඳ විවාද කරති, නැතහොත් එකිනෙකා සමඟ සිනාසෙමින් විනෝද වෙති. "බ්‍රෝ, මට නෝට්ස් ටික එවන්නකෝ" හෝ "බ්‍රෝ, අපි මැච් එක බලන්න යමු" වැනි වදන් හුවමාරු වන විට, ඔවුන්ගේ සමාජීය හෝ සංස්කෘතික විවිධත්වයන් සියල්ල ක්ෂණිකව අමතක වී යයි.

    සාම්ප්‍රදායික පවුලක් යන්නෙන් මූලිකවම අදහස් කරන්නේ ජෛව විද්‍යාත්මක සබඳතාවයක් වුවද, SLIIT පරිශ්‍රය තුළ එය එසේම නොවේ. විවිධ පාඨමාලා 100කට අධික සංඛ්‍යාවක් හදාරන 25,000කට අධික ශිෂ්‍ය ප්‍රජාවක් අතර, මිතුරු කණ්ඩායම් බොහෝ විට ඊට වඩා ගැඹුරු සබඳතාවයක් කරා විකාශනය වේ, එය සැබවින්ම පවුලක් වැනි සමීප හැඟීමකි. සෑම වසරකම මැයි 15 වන දිනට යෙදෙන ජාත්‍යන්තර පවුල් දිනයේදී, අපගේ අනන්‍යතාවය ගොඩනැගීමට පවුලෙන් ලැබෙන දායකත්වය සහ එහි වැදගත්කම සිහිපත් වන අතර, SLIIT හි පවතින මෙම සමීප මිතුරු කණ්ඩායම් ද ඊට නොදෙවැනි මෙහෙවරක් ඉටු කරයි.

    බොහෝ සිසුන්ට විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භ වන්නේ යම් අවිනිශ්චිතතාවයකිනි. නුහුරු නුපුරුදු මුහුණු සහ නව අපේක්ෂාවන් මධ්‍යයේ ආරම්භය තරමක් තැතිගන්වන සුළු විය හැකිය. කෙසේ වෙතත්, දිගුකාලීන සබඳතා ගොඩනැගීමට අඩිතාලම වැටෙන්නේ ද මෙම වටපිටාව තුළින්මය. නැඹුරුකරණ වැඩසටහන අතරතුර සිදුවන සරල හඳුන්වාදීමක්, දේශන ශාලාවකදී හුවමාරු වන සිනහවක් හෝ කණ්ඩායම් ව්‍යාපෘති සඳහා එක්ව කටයුතු කිරීම බොහෝ විට අර්ථවත් මිත්‍රත්වයක සුබ ආරම්භය සනිටුහන් කරයි.

    SLIIT හි විචිත්‍රවත් ශිෂ්‍ය ජීවිතය සැලසුම් කර ඇත්තේම මෙම මිත්‍රත්වයන් වර්ධනය කිරීම උදෙසාය. පීඨ මට්ටමින් සංවිධානය කෙරෙන උත්සව සහ ක්‍රීඩා කටයුතුවල සිට ශිෂ්‍ය සංගම් සහ සමිති දක්වා වූ විවිධ ක්‍රියාකාරකම් හරහා, සිසුන් අතර පවතින වෙනස්කම් නොතකා එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන්ව දිරිමත් කරනු ලබයි. වඩාත්ම වැදගත් කරුණ නම්, මෙම පරිසරයන් එකිනෙකට වෙනස් අදහස් පවතින අවස්ථාවලදී පවා සිසුන්ගේ පෞරුෂය වර්ධනය කරගැනීමට සහ තමන් ගැනම හොඳ අවබෝධයක් ලබාගැනීමට අත්වැලක් වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් ප්‍රජා හැඟීමක් ගොඩනැගෙන අතර, අභියෝගාත්මක අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව සිසුන් තුළ වර්ධනය වේ.

    කාලයත් සමඟ මෙම සබඳතා තවදුරටත් පරිණතභාවයට පත් වේ. අධ්‍යයන කටයුතුවලදී සහයකයින්, දිරිගන්වන්නන් සහ මානසික ශක්තියක් වූ මිතුරන්, උපාධිය ලබා ගැනීමෙන් පසුව ද අඛණ්ඩව සබඳතා පවත්වාගෙන යති. බොහෝ ආදි විද්‍යාර්ථීන් සඳහා, මෙම මිත්‍රත්වයන් ඔවුන්ගේ අධ්‍යයන ජීවිතයේ වඩාත්ම වටිනා මතකයන් අතර වේ. වෘත්තීය ජීවිතයට පිවිසීමෙන් පසුව ද, මෙම සබඳතා ශක්තිමත්ව පවතින අතර, අන්‍යෝන්‍ය සහයෝගීතාවය, සහයෝගය සහ අඛණ්ඩ මිත්‍රත්වයේ ශක්තිමත් ජාලයක් ලෙස ඒවා ක්‍රියාත්මක වේ.

    දැනට SLIIT හි තෙවන වසරේ ඉගෙනුම ලබන හර්ෂණ පවසන පරිදි, පවුල යන්න තීරණය වන්නේ අප පැමිණි ස්ථානයෙන් පමණක් නොව, අප ගොඩනඟා ගන්නා සබඳතා මත ද වන බව වටහා ගැනීම වැදගත්ය. SLIIT තුළ ගොඩනැගෙන මිත්‍රත්වයන් අපට කියා දෙන්නේ, ඇතැම් විට ශක්තිමත්ම පවුල් යනු අප විසින්ම අප වෙනුවෙන් නිර්මාණය කරගන්නා පවුල් බවයි.

    "අපි නිහඬ දේශන ශාලා තුළ ශබ්ද නගා සිනාසුණු, කලින්ම අවසන් කරනවා යැයි සපථ කළත් අවසාන මොහොතේ පැවරුම් නිම කිරීමට නොහැකිව ලතැවුණු, සහ කෙසේ හෝ ආපනශාලා මේස සහ අවසාන මොහොතේ පැවරුම් භාරදීම් අතරතුර පරිණතභාවයට පත් වූ මිතුරු කල්ලි සමූහයකි."

    SLIIT හි ජීවිතය යනු හුදෙක් දේශන, නියමිත දිනට පැවරුම් අවසන් කිරීම සහ උපාධි ප්‍රදානෝත්සවයේ ඡායාරූපවලට පමණක් සීමා වූවක් නොවේ. එය, සාමාන්‍ය මොහොතක් වුණත් ජීවිත කාලයටම අමතක නොවන මතකයක් බවට පත් කරන මිනිසුන් හමුවන සුන්දර ගමනකි.