March, 8, 2022
පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආර්ථිකයේ සියලුම අංශවල ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වන ඉන්ධන සහ විදුලිය සැපයුමට දෛනිකව බාධා එල්ල වෙමින් පවතින බවත්, විදේශ විනිමය හිඟයේ ප්‍රතිවිපාක මහජනතාවට ද දෛනිකව විඳීමට සිදුවී ඇති අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගෙන් සහ දෛනික වැටුප් ලබන කම්කරුවන්ගේ ජීවනෝපායන් ද තර්ජනයට ලක් ව ඇති මෙරට ප්‍රමුඛතම වාණිජ මණ්ඩල 10 ක් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටී.
මේ අනුව වාණිජ මණ්ඩල එකමුතුව රජයෙන් ඉල්ලීම් 3ක් සිදුකර ඇත.
1. නම්‍යශීලි විනිමය අනුපාතිකයක් පවත්වාගෙන යාම සහ ඉන්ධන, ගෑස් සහ විදුලිය සඳහා වෙළෙඳපොළ මත පදනම් වූ මිල සූත්‍රයක් ස්ථාපිත කිරීම. වත්මන් විදේශ විනිමය ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය ආර්ථික ක්‍රියාකාරකම් අඩාල කරන බැවින් හිඟතාවයක් පවත්වාගෙන යාමට වඩා පිරිවැය ඉහළයාම උචිත බව.
2. ක්‍රමානුකූලව විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ යුතුය. එහිදී වාණිජ මෙන්ම වාණිජ නොවන ණය ප්‍රතිව්‍යූහගත කිරීම ද සලකා බැලිය යුතුය. මෙම ක්‍රියාවලිය නුදුරේ දීම ආරම්භ කිරීම හරහා ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා හිඟ ඩොලර් වෙන් කිරීමට අවකාශ ලැබෙනු ඇත.
3. වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද සහිතව වෙළෙඳපොළට සහ පෞද්ගලික අංශයට ධෛර්යය ලබාදෙන ආකාරයේ ප්‍රතිසංස්කරණ නැඩසටහනක් සකස් කළ යුතුය.
“පෞද්ගලික අංශයේ නියෝජිතයන් වන ඒකාබද්ධ වාණිජ මණ්ඩල, මෙම අර්බුදයෙන් ශ්‍රී ලංකාවට ගොඩ ඒමටත් සියලු පාර්ශවකරුවන් විසින් අපේක්ෂා කරන පරිදි වසංගතයෙන් පසු අවධිය තුළ ශක්තිමත් ආර්ථික පුනර්ජීවයක් ඇති කර ගැනීමට උපකාර වන වැඩපිළිවෙලක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට අවශ්‍ය සහාය ලබාදීමටත් සූදානමින් සිටී. මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නිසි බලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ සම්බන්ධ වීමටත් එමඟින් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය සහාය ලබාදීමටත් අපි සූදානමින් සිටිමු“, යනුවෙන් වාණිජ මණ්ඩල එකමුතුව වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story