ආර්ථික අපේක්ෂාවන්ගේ දිශාව නිතර වෙනස් වෙයි

    January, 25, 2017

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2016 නොවැම්බර් මාසය

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2016 නොවැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2016 නොවැම්බර් මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ 2016 ඔක්තෝම්බර් මාසයේදී බිඳ වැටුණු ජනතාවගේ ආර්ථික අපේක්ෂාවන් යම් පමණකට නොවැම්බර් මාසයේදී යළිත් වර්ධනය වී තිබෙන බවයි. නමුත්, පසුගිය මාස කිහිපය දෙස බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණාව වන්නේ ජනතාවගේ ආර්ථික අපේක්ෂාවන් මාස ගණනාවක් එක් දිශාවකට ස්ථාවරව පවතිනවා වෙනුවට මාසයෙන් මාසයට එය ඉක්මනින්ම වෙනස් වීමයි. ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 12% ක පමණ මට්ටමක තිබූ අතර එය ගෙවුණු ඔක්තෝම්බර් මාසය වනවිට 9% ක් වැනි අගයක් දක්වා පහළ ගියේය. නමුත්, යළිත් මෙම අපේක්ෂාව පසුගිය නොවැම්බර් මාසයේදී 12% ක මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ පැහැදිලි ප්‍රගතියක් මේ කාලයේදී පෙන්නුම් කර තිබෙන අතර ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ණය දෙන ආයතන විසින් ලංකාව කෙරෙහි ධනාත්මක ප්‍රතිචාර ලබාදී තිබේ. මේ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 162.6 ක ණය මුදලක් පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කරන ලදී. හම්බන්තොට වරායේ කොටස් ප්‍රමාණයක් චීනයට ලබාදීමේ වැඩසටහන පිළිබඳව මේ මාසයේදී රජය විසින් ජනතාවට කරුණු දක්වා සිටි අතර ඒ තුළින් විශාල රැකියා ප්‍රමාණයක් බිහිවන බවද සඳහන් කළේය. 2016 නොවැම්බර් මාසයේදී උද්ධමනයේ එතරම් වෙනස්වීමක් සිදුනොවී ස්ථාවර මට්ටමක පැවතුණි. ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2014 දෙසැම්බර් මාසය වනවිට 15% ක පමණ මට්ටමක තිබී 2015 ජනවාරි වනවිට 40% ක් තරම් ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණි. මේ පිළිබඳව පහත ප්‍රස්ථාරය මගින් තවදුරටත් කරුණු අවබෝධ කර ගත හැකිය.

    විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සැලකීමේදී පසුගිය නොවැම්බර් මාසයේදී විදේශීය ශ්‍රමිකයින් විසින් මෙරටට එවූ ප්‍රේෂණ වලද වර්ධනයක් දකින්නට ලැබේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ 2016 තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 4.1% ක්වූ බවයි. මෙහිදී, සේවා අංශය 4.7% කින්ද, කර්මාන්ත අංශය 6.8% කින්ද වර්ධනය වූ නමුත් කෘෂි කාර්මික අංශයේ වර්ධනයක් දකින්නට නොමැත.
    මේ අතර, දළ දේශීය නිෂ්පාදිතය 2016 මුල් මාස 06 තුළදී මූර්ත වශයෙන් 3.9% ක වර්ධනයක් පෙන්වා තිබෙන අතර මෙහිදී සේවා අංශයේ 4.9% ක වර්ධනයක්ද, කර්මාන්ත අංශයේ 5.2% ක වර්ධනයක්ද ලබාගෙන තිබේ. 2016 නොවැම්බර් මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාවන් වර්ධනය වීමට මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.
    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    කෙසේවෙතත්, ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාව පසුගිය නොවැම්බර් මාසයේද ගෙවුණු ඔක්තෝම්බර් මාසයේ මෙන්ම එතරම් වෙනස් නොවී ස්ථාවර ස්වභාවයක් පෙන්නුම් කර තිබේ. වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී මෙම අපේක්ෂාව ඉතාමත් ඉහළ තත්ත්වයක තිබූ අතර පසුව එය පසුගිය සැප්තැම්බර් මාසය වනවිට විශාල ලෙස අඩුවිය. (02 වන ප්‍රස්ථාරය බලන්න)

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් කෝප් වාර්තාව පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවූ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම බලාපොරොත්තු කැපී පෙනෙන ලෙස අඩුවී තිබුණි.

    නමුත්, 2016 ආර්ථික අපේක්ෂා දර්ශකයේ නොවැම්බර් මාසයේදී කැපී පෙනුණු කාරණයක් වන්නේ එසේ බිඳ වැටුණු අපේක්ෂාවන් යළිත් වර්ධනය වීමයි. (03 වන ප්‍රස්ථාරය බලන්න)

    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.