ආර්ථික අපේක්ෂා මන්දගාමී වේ

    December, 11, 2016

    ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2016 ඔක්තෝම්බර් මාසය

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2016 ඔක්තෝම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2016 ඔක්තෝම්බර් මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ 2016 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ජනතාවගේ ආර්ථික අපේක්ෂාවන් යම් පමණකට අඩුවී තිබෙන බවයි. ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 12% ක පමණ මට්ටමක තිබූ අතර එය ගෙවුණු ඔක්තෝම්බර් මාසය වනවිට 9% ක් වැනි අගයක් දක්වා පහළ ගොස් තිබේග වෙළඳ පොළ පොලී අනුපාත අඛණ්ඩවම ඉහළ යාම හේතුවෙන් වාණිජ බැංකු විසින් පුද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණයේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2016 අගෝස්තු මාසයේදී 27.3% ක මට්ටමක තිබුණද එය පසුගිය සැප්තැම්බර් මාසය වනවිට 25.6% ක් දක්වා සැලකිය යුතු ලෙස අඩුවී ඇත. ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2014 දෙසැම්බර් මාසය වනවිට 15% ක පමණ මට්ටමක තිබී 2015 ජනවාරි වනවිට 40%ක් තරම් ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණිග මේ පිළිබඳව පහත ප්‍රස්ථාරය මගින් තවදුරටත් කරුණු අවබෝධ කර ගත හැකිය.

    විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය සැලකීමේදී පිට පිටම දෙවැනි මාසයටත් පසුගිය සැප්තැම්බර් මාසයේදී අපනයන ආදායම් වැඩිවූ අතර ආනයන වියදම අඩුවීම හමුවේ වෙළඳ හිඟය අඩුවී තිබේ. වසරේ පළමු මාස දහය තුළදී සංචාරක ඉපැයීම් 14.6% කින් ඉහළ ගිය අතර 2016 ජනවාරි සිට ඔක්තොම්බර් දක්වා කාලය තුළ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 3.5% කින් ඉහළ ගොස් ඇත.

    කෙසේවෙතත් 2016 වසරේ ඔක්තෝම්බර් මාසය අවසානය වනවිට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1 ක් දක්වා අඩුවී තිබෙන අතර එය පසුගිය අගෝස්තු මාසය වනවිට පැවතියේ ඩොලර් බිලියන 6.6 ක් ලෙසයි. මේ අතර මෙම කාල සීමාව තුළදී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ.

    මීට අමතරව ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව (NCPI) පසුගිය අගෝස්තු මාසයේදී පැවති 4.5% ක්වූ උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසය වනවිට 4.7% ක් දක්වා වාර්ෂික පදනමට අනුව වැඩිවී තිබෙන අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව වාර්ෂික පදනම මත උද්ධමනය 2016 අගෝස්තු මාසයේදී තිබූ 4.0% ක මට්ටමේ සිට 2016 සැප්තැම්බර් වනවිට 3.9% ක් දක්වා අඩුවී ඇත.

    මේ අතර දළ දේශීය නිෂ්පාදිතය 2016 මුල් මාස 06 තුළදී මූර්ත වශයෙන් 3.9% ක වර්ධනයක් පෙන්වා තිබෙන අතර මෙහිදී සේවා අංශයේ 4.9% ක වර්ධනයක්ද කර්මාන්ත අංශයේ 5.2% ක වර්ධනයක්ද ලබාගෙන තිබේ. මේ වසරේ මුල් මාස අට තුළදී තේ නිෂ්පාදනය අඩුවී තිබෙන අතර ඒ සඳහා අයහපත් කාලගුණික තත්ත්වය සහ අපනයන වෙළඳපොළවල ඉල්ලුම අඩුවීම හේතුවී ඇතග මේ අතර මෙම කාල සීමාව තුළදී රබර් නිෂ්පාදනයද අඩුවී තිබේ.

    2016 ඔක්තෝම්බර් මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාවන් පහළ යාමට මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට යමින් ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාවද ගෙවුණු සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2016 ඔක්තෝම්බර් මාසයේදී එතරම් වෙනස් වී නොමැත. මෙම අපේක්ෂාව පසුගිය සැප්තැම්බර් මාසය වනවිට යම් පමණකට ඉහළ ගොස් තිබුණි. වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී මෙම අපේක්ෂාව ඉතාමත් ඉහළ තත්ත්වයක තිබූ අතර පසුව එය ක්‍රමයෙන් අඩුවිය. (02 වන ප්‍රස්ථාරය බලන්න)

    දූෂණය අඩුවන බලාපොරොත්තු

    වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් තිබුණි. නමුත් 2016 ආර්ථික අපේක්ෂා දර්ශකයේ සැප්තැම්බර් මාසයේදී කැපී පෙනුණු කාරණයක් වූයේ එසේ බිඳ වැටුණු අපේක්ෂාවන් යළිත් වර්ධනය වීමයි. නමුත් 2016 ඔක්තෝම්බර් මාසයේ නවතම දත්ත මගින් අනාවරණය වන්නේ දූෂණය අඩුවනු ඇතැයි ජනතාව තුළ තිබෙන අපේක්ෂාව යළිත් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙන බවයි. (03 වන ප්‍රස්ථාරය බලන්න)

    ආර්ථික අපේක්ෂාවල ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.