ආහාර අර්බුදය උග්‍රවෙලා. ප්ලෑන් B එකක් රජයට නැහැ – සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති

    May, 30, 2022

    රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් මහ කන්නය විනාශ වූ බවත්, යම් හෙයකින් එම ප්‍රතිපත්තිය අසාර්ථක වුවහොත් ක්‍රියාත්මක කරනු ලබන දෙවන සැලසුම් පිළිබඳව කිසිදු දැනුවත්භාවයක් රජයට හෝ නිලධාරීන්ට නොතිබුණු බවත් එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි. අද (30) පෙරවරුවේ විකාශය වූ දෙරණ BIG FOCUS සජීවී වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම කාබනික පොහොර ප්‍රතිපත්තිය අසාර්ථක වීම හේතුවෙන් මේ වන විට රට තුළ සහල් අර්බුදය මෙන්ම ආහාර අර්බුදය ද උග්‍ර වෙමින් පවතින බවයි.

    එක පාරටම කාබනික පොහොර කතක්දරයකට ගිහිල්ලා මහ කන්නය නැති වුණා. මේ කාබනික පොහොර කතන්දරයට යද්දි රජය පැත්තෙන් වේවා, ජනාධිපතිතුමාගේ පැත්තෙන් වේවා, විශේෂයෙන්ම උගත් රාජ්‍ය නිලධාරීන් යාන්ත්‍රණයෙන් වේවා, මෙයාලට තියෙන්න තිබ්බා backup plan එකක්. අපිට මේ කාබනික වගාව නිසා විශේෂයෙන්ම ප්‍රධාන ආහාරය වන සහල් නිෂ්පාදනය රටේ කඩා වැටුනොත්, අපි මොකක්ද ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන සැලසුම කියලා. තේරෙන විදිහට කිසිඳු backup plan එකක්, plan B එකක් රජයටවත්, නිලධාරීන්ටවත් තිබ්බේ නැහැ. අද වෙනකල් ඒකයි මේ සහල් අර්බුදය, ආහාර අර්බුදය උග්‍රවෙලා තියෙන්නේ. මෙයාලට තිබ්බ එකම සැලසුම තමයි වී නිෂ්පාදනය කඩා වැටුනොත් කාබනික ගොවිතැන නිසා අපි රටින් හාල් ගේනවා කියලා. ඕකනේ කිව්වේ. වෙළඳ ඇමතිවරයා, කෘෂිකර්ම ඇමතිවරයා, එළිපිටම කිව්වේ ඔය කතන්දරේ.

    එහෙම බලාපොරොත්තු තියාගත්තට කමක් නැහැ, මහ බැංකුවේ යට ඉඳන් උඩටම ඩොලර්, ඉන්දියන් රුපියල්, යුවාන්, එහෙම පුරවමලා තිබ්බනම්. ඒත් අපි දන්නවා අද තියෙන්නේ නිකන්ම මහ බැංකුවේ සේප්පුවල තියෙන්නේ ඉතිරි වෙච්ච පොඩි රත්තරන් ප්‍රමාණයකුයි, නිකන්ම නිකන් හිස් අවකාශයකුයි විතරයි. එතකොට අද වෙනකම් B plan එකක්, backup plan එකක් ක්‍රියාත්මක කරගන්න ආණ්ඩුව සහ නිලධාරීන් අසමත් වෙලා තියනවා.

    අපි ඒකයි දැන් කිව්වේ යල කන්නයට තවදුරටත් මේ ප්‍රමාදයත් එක්ක අපි දකින්නේ මේ යල කන්නය ක්‍රියාත්මක කිරීම නිෂ්ඵල දෙයක්. තවදුරටත් මේ යල කන්නය වෙනුවෙන් විදේශ විනිමය වැය කරලා අපි මේ කරන්න යන දේ ඵල රහිතයි. අපිට දැන් මේ නැතිවෙලා තියන අස්වැන්න විශේෂයෙන් යළි ලබා ගන්න අවස්ථාවක් තියෙන්නේ 2023 වසරේ මහ කන්නයේ. එය 2023 මහ කන්නයේ ආරම්භ කරන්න නම් මේ අවුරුද්දේ ඔක්තෝබර් 15 වෙද්දි ගොවියට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය, ඩීසල් ප්‍රමාණය, ඒ වගේම රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණය පෝලිම් නැතුව, කඩදාසි පුරවන්නේ නැතුව, ගොවියට අභිමානයෙන් යුතුව විශ්වාසයෙන් යුතුව කුඹුරට බහින්න පුළුවන් විදිහට ඒ අවශ්‍ය ප්‍රමාණයේ යෙදවුම් ටික ආනයනය කරලා දෙන්න.

    පොහොර ටික ආනයනය කරන්න ලබන අවුරුද්දට විතරක් යල මහ කන්න දෙකට අපිට ඩොලර් මිලියන 350ක් ඕන. අපි දන්නවා ගෑස් නැවට ඩොලර් මිලියන 5ක් 10ක් ගෙවා ගන්නත් අපට අද සල්ලි නැහැ. හැබැයි එතකොට අපි මොන තත්ත්වයෙන් වුනත් ඔක්තෝබර් 15 වෙද්දි මේ ඩොලර් මිලියන 15 හොයලා, ඊලඟ වසරට ගොවීන්ට අවශ්‍ය ඉන්ධන සහ පොහොර ප්‍රමාණය ආනයනය කිරීම හෝ ඊට අවශ්‍ය ණයවර ලිපි විවෘත කර ගැනීම කළේ නැත්නම් ඊලඟ මහ කන්නය විනාශ වෙනවා කියන්නේ, ලංකාවේ කෘෂි කර්මාන්තය මේ වසර 70ක් පුරා ඩී. එස්. සේනානායක ශ්‍රීමතානන්ගේ ඉඳලා මෛත්‍රීපාල අවසාන මහා පරිමාණ ජලාශය ඉදිකරපු ජනාධිපතිවරයා දක්වා සියළු කණ්ඩායම් වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාටත් මෙම කෘෂිකර්මාන්තයේ යම් කිසි ගෞරවයක් හිමි වෙනවා. මොක ද එතුමගේ 20 සහ 21 වසර දෙකේ තමයි ලංකාවේ වැඩිම වී නිෂ්පානයක් සිද්ධ වුණේ. වී මෙක්ට්‍රික් ටොන් මිලියන 5 කියන ඉලක්කම සපුරාගත් එකම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. 22 නොමග ගිහිල්ලා වැරදි තීරණ මත ගියාට එතුමාගේ 20 සහ 21 වසර දෙකේ ලංකාවේ වාර්තාගත වී ඇස්වැන්නක් ආවා. ඒක 22 අවුරුද්දේ නැති වුණා.

    ලබන මහ කන්නය අසාර්ථක වුනොත් මේ විදිහට කෘෂි ආර්ථිකය සමුපූර්ණයෙන් කඩා වැටෙනවා. ඒකයි අපි අවාධාරණය කළේ. ඒ සාර්ථක කර ගැනීම වෙනුවෙන් 2023 මහ කන්නය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 350ක් අපට ඕන. එකෙත් අපි බත් කන්න ගියොත් අපට කන්න වෙන්නේ ඉන්දියාවෙන් ආනයනය කරලා ණයට. මේ මාස 6ට අපි තව දුරටත් තුන්වේලක් හෝ දෙවේලක් අපි බත් කනවනම් අනිවාර්යෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරලා මේ එන සහල් හිඟයට පිළියමක් ලෙස ඒ වෙනුවෙන් අපට වැය වෙනවා තවත් ඩොලර් මිලියන 300ක්. එතකොට අපි ලබන මාර්තු දක්වා ඊලඟ මාස කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් බත් කාගෙනනම් බලන් ඉන්නේ අපිට අවශ්‍ය වෙනවා ඩොලර් මිලියන 650ක්. බත් කන්න 300යි. ඉන්ධන සහ පොහොර ටික ගේන්න ඩොලර් මිලියන 350යි. ඩොලර් මිලියන 650යි.

    මේක අපි හිතන්නේ නැහැ කිසිසේත්ම සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ඒකයි අපි යෝජනාවක් විදිහට කළේ මේ වේලාව අපිට කෙටි කාලීනව යන්න පුළුවන් මේ භූමිය තියනවා, ශ්‍රමය තියනවා, අපට ජලය තියනවා, මේ තියන සම්පත් ටික භාවිතා කරලා. නිලධාරින් සහ රජය පටලවා ගන්න තව කාරණයක් තමයි මේ දවස් වල අපි දකිනවා එළවළු ඇට බෙදන්න උත්සහ කරනවා. එතකොට අපි බීට් ගත්තොත් කැරට් ගත්තොත් ලීක්ස් ගත්තොත් ඒක අපි පාන් එක්ක රොටි එක්ක නෙවෙයි කන්නේ, එළවළු වලින් 90%ක්ම යන්නේ බත් පිඟානත් එක්ක. බත් නැති රටක එළවළු ඇට බෙදලා මොකක්ද තියෙන්නේ. ඔබතුමා බීට් කනව ද රොටිත් එක්ක. ඔබතුමා ලීක්ස් කනව ද රොටිත් එක්ක, කන්නේ නැහැනේ. මේ සියළු එළවළු වලට ඉල්ලුමක් තියෙන්නේ මිලක් තියෙන්නේ, රටේ කන්න බත් තිබ්බොත් විතරයි.