ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළට – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි

    April, 1, 2022

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව 2022 මාර්තු මාසයේ උද්ධමන අගය වාර්ෂික පදනම මත 18.7% ක් ලෙසින් දක්වා තිබේ.  ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

    එසේම ආහාර උද්ධමනය 30.2% ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 13.4% ක් ලෙසත් අදාළ වාර්තාවෙහි සඳහන් වේ.

    2022 පෙබරවාරි මාසයේ දී මෙම අගයයන් දැක්වුණේ පිළිවෙලින් 25.7% ක් හා 10.1% ක් වශයෙනි.

    CCPI අගය 2022 පෙබරවාරි මාසයේ දී 160.1 ක් ලෙසින් සටහන්ව තිබූ අතර එය 2022 මාර්තු මාසයේ දී 164.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    කොළඹ දිස්ත්‍රික්කය හා ඒ අවට නාගරික ප්‍රදේශයන්හි ජනතාව විසින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් වෙනස් වීම් පිළිඳව අධ්‍යනය කිරීම සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකසා ඇත.

    CCPI දර්ශකය සඳහා දත්තයන් ලබා ගැනීම සිඳු කරනුයේ කොළඹ පිහිටි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 14ක් යොදා ගනිමිනි. එම මධ්‍යස්ථාන වනුයේ, පිටකොටුව, මරදාන, වැල්ලවත්ත, දෙමටගොඩ, ග්‍රෑන්ඩ්පාස්, බොරැල්ල, කිරුලපන, දෙහිවල, කෝට්ටේ, නුගේගොඩ, කොලොන්නාව, රත්මලාන, නාරාහේන්පිට හා  රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයයි.

    ලක් සතොස සහ සුපිරි වෙළඳසැල් ඇතුළුව ඉහත එක් එක් වෙළඳ ප්‍රදේශ තුළ පිහිටා ඇති අලෙවිසැල් වලින් සතිපතා මෙම දර්ශකය සකස් කිරීම සඳහා අවශ්‍ය දත්ත එක්රැස් කරගනු ලැබේ.

    එම දත්ත ලබා ගැනීම සඳහා යොදාගනු ලබන භාණ්ඩ වෙත අයිතම 392 ක් ඇතුළත් වන අතර එය සාමාන්‍ය නාගරික ගෘහස්ත පරිභෝජන වියදම් නියෝජනය කරයි.