ආහාර මිල පහළට – උද්ධමනය පසුබසී

    March, 22, 2018

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික  මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය,  ලක්ෂ්‍යමය පදනම මත 2018 ජනවාරි මාසයේ පැවති සියයට 5.4 ට සාපේක්ෂව 2018 පෙබරවාරි මාසයේ දී සියයට 3.2 ක් දක්වා පහළ ගියේය.

    මේ සඳහා 2017 පෙබරවාරි මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙන්ම 2018 පෙබරවාරි මාසයේ දී පැවති සතුටුදායක සැපයුම් තත්ත්ව හේතුවෙන් ආහාර මිල ගනන්වල සිදුවූ මාසික පහළ යෑම 2018 ජපබරවාරි මස ලක්ෂ්‍යමය උද්ධමනයෙහි සිදු වූ මෙම සැලකිය යුතු පහළ යෑමට හේතුවිය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2018 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 7.6 සිට 2018 පෙබරවාරි මාසයේ දී සියයට 7.2 දක්වා පහළ ගියේය.

    මාසික වෙනස්වීම සැලකූ විට ආහාර කාණ්ඩයට අයත් අයිතමයන් හි මිල ගණන් පහළ යෑම, විශේෂයෙන් එළවළු, අමු මිරිස්, රතු ළූණූ, සහල් සහ ලොකු ළූණු මිල ගණන් පහළ යෑම හේතුවෙන් ජා.පා.මි. දර්ශකය 2018 ජනවාරි මාසයේ වාර්තා වූ දර්ශක අංක 125.8 සිට 2018 පෙබරවාරි මාසයේ දී දර්ශක අංක 123.7 දක්වා පහළ ගියේය.

    මේ අතර ආහාර නොවන කාණ්ඩය තුළ සන්නිවේදන උපකාණ්ඩයෙහි හැර අනෙකුත් සෑම උපකාණ්ඩයකම මිල ඉහළ යෘම් දක්නය ලැබිණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජා.පා.මි. දර්ශකයෙහි මූලික උද්ධමනය, 2017 සැප්තැම්බර් මාසයේ සිට පෙන්නුම් කළ ආකාරයට තවදුරටත් පහළ යෑමේ නැඹුරුවක් අනුගමනය කළේය. ඒ අනුව ජා.පා.මි. දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 ජනවාරි මාසයේ දී පැවති සියයට 2.1 සිට 2018 පෙබරවාරි මාසයේ දී සියයට 2.0 දක්වා පහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2018 ජනවාරි මාසයේ දී වාර්තා වූ සියයට 4.5 සිට 2018 පෙබරවාරි මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය.