ආහාර හා කෘෂිකර්ම සංවිධානය, යුරෝපා සංගමය සහ හේලීස් සමාගම අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂි ව්‍යාපාර අංශය ප්‍රවර්ධනය කරයි

    August, 16, 2017

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන සහ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩිංස් සමාගමේ සන්ෆ්‍රොස්ට් සමාගම අතර වගා ගිවිසුම් දෙකක් සඳහා පහසුකම් සම්පාදනය කළේය. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ මෙම ගිවිසුම් දෙක සඳහා පහසුකම් සැලසිණි. අපනයන වෙළඳපල තුළ විශාල ඉල්ලුමක් පවතින පිපිඤ්ඤා, මඤ්ඤෝක්කා වගා වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුමක් ද, අන්නාසි වගා වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබීම අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

    පදියතලාව, මහඔය, උහන සහ දමන යන ප්‍රාදේශීය ලෝකම් කොට්ඨාසවල අක්කර 200ක භූමි ප්‍රදේශයක් පුරා අන්නාසි වගා බිම් සැකසෙමින් පවතින අතර ගොවීන් 350 දෙනෙකුට එක් අයෙකුට අක්කර භාගය හෝ අක්කරය බැගින් වගා බිම් සකස් කර ඇත. අන්නාසි මොරෙයියන් 300,000කට අධික ප්‍රමාණයක්, සිටුවීමේ උපකරණ මෙන්ම අන්නාසි වගාව, පස සහ ජල සංරක්ෂණය හා ගොවි සැලසුම් සකස් කිරීම පිළිබඳ තාක්ෂණික පුහුණුව සහ කෘෂි ව්‍යාපාර පිළිබඳ පුහුණුව ද මෙම වැඩසටහන යටතේ ගොවීන්ට ලබා දී ඇත. අන්නාසි අස්වැන්න සන්ෆ්‍රොස්ට් සමාගම විසින් මිලදී ගනු ලබන අතර, අපනයන වෙළඳපල සඳහා අන්නාසි බෝතල් කිරීමේ සහ වියලි අන්නාසි නිෂ්පාදනය කිරීමේ පිරිසැකසුම් මධ්‍යස්ථානයක් අම්පාර දිස්ත්‍රික්කයේ ඉදි කිරීමට ද එම සමාගම කටයුතු කරයි.

    එලෙසම, යුද සමයේදී අතහැර දමන ලද අම්පාර දිස්ත්‍රික්කයේ ටැම්පිටිය ප්‍රදේශයේ ඉඩම් අක්කර 300ක් පිපිඤ්ඤා සහ මඤ්ඤෝක්කා වගා ව්‍යාපෘතිය සඳහා යොදා ගැනේ. පිපිඤ්ඤා සහ මඤ්ඤෝක්කා සඳහා අක්කර 3 බැගින් ඉඩම් කට්ටි කර ඇති ගොවීන් 100 දෙනෙකු සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වාරි පද්ධතියක් හඳුන්වා දීම මෙම වැඩසටහනේ කැපී පෙනෙන ලක්ෂණයකි. අන්නාසි මිලදී ගැනීම සහ අලෙවි කිරීම සන්ෆ්‍රොස්ට් සමාගම විසින් සිදු කරනු ලබන අතර, අපනයනය සඳහා අවශ්‍ය ප්‍රමිති සහතිකයට අනුකූලව වගාව පවත්වා ගැනීම සඳහා ද එම සමාගම කටයුතු කරයි.

    සන්ෆ්‍රොස්ට් සහ HJS Condiments සමාගම් අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආනන්ද පතිරගේ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ පිරිසැකසුම් කළ පලතුරු සහ එළවලු අපනයනයේ 44%ක හිමිකාරිත්වය දරන්නේ හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩිංස් සමාගම බවත්, නැවුම් පලතුරු සහ එළවලු පමණක් නොව අගය එකතු කරන ලද එළවලු සහ පලතුරු ද අලෙවියෙන් ගොවීන්ට ආදායම් මාර්ග උත්පාදනය කිරීමට හැකි වීම FAO සංවිධානයත් සන්ෆ්‍රොස්ට් සමාගමත් හඳුන්වා දුන් සංකල්පයේ ඇති වැදගත්කම බවත්ය. "සන්ෆ්‍රොස්ට් සමාගම මේවන විට ද ස්ථාවර මිලකට එම නිෂ්පාදන සහ අස්වනු මිලදී ගැනීම සඳහා ගිවිසුමකට එළඹ තිබෙනවා. විශේෂයෙන් තරුණ වගාකරුවන් අතරට නූතන පිරිසැකසුම් තාක්ෂණය ගෙන යාම සඳහා මෙම ව්‍යාපෘතිය බෙහෙවින් දායකවනු ඇත" යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මෙම වැඩසටහන පිළිබඳ අදහස් පළ කරමින් FAO සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත නීනා බ්‍රෑන්ඩ්ස්ට්‍රප් මහත්මිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ගොවීන් හට වර්ධනය වීම සඳහා විශ්වසනීය වෙළඳපල ප්‍රවේශ වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බවය. "ගැනුම්කරුවන් සමග සම්බන්ධ වීම හරහා නිෂ්පාදකයන්ට වෙළඳපල අවශ්‍යතා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ගැනීමට හැකි වනවා. එමෙන්ම නිෂ්පාදන කටයුතු සඳහා ආයෝජනය කිරීමට අවශ්‍ය පදනමක් සකස් කර ගැනීමටත්, සිය නිෂ්පාදන තවදුරටත් ඵලදායී කර ගත හැකි ආදායම් මාර්ගයක් උත්පාදනය කර ගැනීමටත් හැකි වනවා. මේ අනුව, තම ආදායම් මාර්ග වැඩිදියුණු කර ගන්නා අතර ප්‍රජාව තුළ රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත් නිෂ්පාදකයන් හට අවස්ථාව උදා වනවා" ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    වෙළඳපල ඉලක්කකර ගත් තිරසාර කෘෂි නිෂ්පාදන පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා FAO සංවිධානයත්, යුරෝපා සංගමයත් ගොවි පවුල් සඳහා සිය සහයෝගය ලබා දෙයි. ග්‍රාමීය ගොවි ජනතාව එවැනි කොන්ත්‍රාත් වගා ගිවිසුම් හරහා පුද්ගලික අංශය සමග සම්බන්ධ කරවීම ගොවීන් හට සුරක්ෂිත ආදායම් මාර්ගයක් උත්පාදනය කිරීම සඳහා ගත හැකි එක් වැදගත් ක්‍රියාමාර්ගයකි.